අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 168

නාස්ලණුව

නා. ගවාදි සතුන් හැසිරවීමට නාසය විද දමන ලණුව

නාසික්‍ය

වි. නාසයෙන් උපදනා; නාසයෙන් උච්චාරණය කෙරෙන (සං. නාසික්‍ය)

නාළය

නා. සිදුර සහිත සිලින්ඩරාකාර දිග බටය/ ලේ ගමන් කරන නහරය (පා. නාළ සං. නාඩ, නාල)

නාළි

නා.ප්‍ර. නහරය; නාඩිය/ ධාන්‍ය ආදිය මැනීමේ මිම්මක්; නැළිය (පා. නාළි)

නාළිකාව

නා. ඇතුළෙහි සිදුර ඇති දිගටි දඬුව; බටය; නළය/ නැළිය (පා. නාළිකා)

නාළිකේර

නා.ප්‍ර. පොල්; නෙරළු (පා. නාළිකෙර සං. නාලිකෙර)

නැගණී

නා.ප්‍ර. බාල සොහොයුරිය; නංගී (සං. නග්නා දෙ. நங்கை)

නැටිල්ල

නා. නැටුම/ අසංවර හැසිරීම; දැඟලිල්ල

නැණ

නා.ප්‍ර. නුවණ; ඥානය (පා. ඤාණ සං. ඥාන)

නැණලු

නා. නුවණ නමැති ආලෝකය

නැණැති

වි. නුවණ ඇති

නැණැස

නා. නුවණ නමැති ඇස

නැන්දණිය

නා. පියාගේ සහෝදරිය/ බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව

නැබ

නා. නාභිය/ රථ චක්‍රයක මධ්‍යලක්ෂ්‍යය (පා. සං. නාභි)

නැබළ

වි. මහත්; විශාල; ශක්තිමත්

නැඹුරු

වි. නැමුණු/ නෙරා ගිය (සං. නම්‍ර)

නැයිනි

1. නා.ප්‍ර. නැයින්න; නයා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය (පා. නාගිනී) 2. සොරොව්ව (සං. නායිනී)

නැලිය

නා. නැළිය

නැළවිල්ල

නා. ‘නළවනවා’ යන්නෙහි භාව නාමය

නැළිය

නා. ධාන්‍ය හෝ ද්‍රව හෝ මනින මිම්මක් (පා. නාළි සං. නාලි)

නෑනණ්ඩි

නා. නෑනා

නෑඹිලිය

නා. හාල් ගැරීම, සේදීම ආදිය සඳහා මුළුතැන්ගෙයි භාවිත කරන භාජන විශේෂය

නිකරුණෙහි

ක්‍රි.වි. කරුණක් නැති ව; කරුණු රහිත ව; හේතුවක් නොමැති ව (පා. නික්කාරණ සං. නිෂ්කාරණ)

නිකසළ

වි. පිරිසිදු; පිවිතුරු කැලැල් නැති/ පැහැදිලි; නිරවුල්