අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 191

පරිවර්තනය

නා. එක් දෙයක් වෙනත් දෙයක් බවට පත් කිරීම; එක් බසකින් ලියූ දෙයක් තවත් බසකට හැරවීම/ වෙනස් වීම (සං. පරිවර්තන)

පරිවහනය

1. නා. ප්‍රවාහනය (සං. පරිවහන) 2. ආගම ධර්මය හැදෑරීම/ වනපොත් කිරීම

පරිවෘත්තය

නා. වටය; වට වූ දෙය (සං. පරිවෘත්ත)

පරිවෘත්තිය

නා. ශරීරයේ සිදුවන භෞතික හා රසායනික විපර්යාස/ පරිවර්තනය (සං. පරිවෘත්ති)

පරිවේණාධිපති

නා.ප්‍ර. පිරිවෙණක අධිපති භික්ෂූන් වහන්සේ

පරිවේෂ්ටනය

නා. බැඳීම; බන්ධනය/ අවට පරිසරය (සං. පරිවෙෂ්ටන)

පරිශ්‍රමය

නා. වෙහෙස/ උත්සාහය (සං. පරිශ්‍රම)

පරිශ්‍රය

නා.ප්‍ර. අවටින් ලැබෙන ඇසුර; බලපෑම/ ආශ්‍රිත ප්‍රදේශය (සං. පරිශ්‍රය)

පරිශිෂ්ටය

නා. ඌන පූරණය/ ඉතිරිය; ශේෂ වූ කොටස (සං. පරිශිෂ්ට)

පරිශීලනය

නා. භාවිතය; හැදෑරීම (සං. පරිශීලන)

පරිශුද්ධ

වි. අතිශයින් පිරිසිදු; අකලංක (සං. පරිශුද්ධ)

පරිශෝධනය

නා. පිරිසිදු කිරීම (සං. පරිශොධන)

පරිශෝෂය

නා. ජලය සිඳීම; වියළීම (සං. පරිශොෂ)

පරිෂ්කාර

නා.ප්‍ර. පැවිද්දන්ට අයත් පිරිකර/ ගෘහස්ථයන්ට අයත් පරිවාර පිරිවර/ ඇඳුම් පැළඳුම් (සං. පරිෂ්කාර)

පරිෂේකය

නා. ඉසීම; වත් කිරීම (සං. පරිෂෙක)

පරිසමාප්ත

වි. අවසන් වූ; සම්පූර්ණ වූ (සං. පරිසමාප්ත)

පරිස්ථිතිය

නා. වටපිටාව; පරිසරය

පරිහරණය

නා. පාවිච්චිය/ ආරක්ෂාව/ දුරු කිරීම (පා. සං. පරිහරණ)

පරිහානිය

නා. දියුණුවෙන් අඩුවීම/ හදිසි මිල පහත වැටීම; භාණ්ඩ හා මුදල් හිඟකම (පා. පරිහානි සං. පරිහාණි, පරිහානි)

පරිහාසය

නා. නින්දාව; අපහාසය (පා. සං. පරිහාස)

පරිළාහය

නා. බලවත් දැවිල්ල (පා. පරිළාහ)

පරීක්ෂක

නා.ප්‍ර. පරීක්ෂා කරන නිලධාරියා; සෝදිසි කරන්නා

පරීක්ෂණය

නා. විමසීම; බුද්ධිය, දැනුම ආදිය මැන දැනගැනීම/ අත්හදා බැලීම/ විභාගය; සෝදිසිය (සං. පරීක්‍ෂණ)

පරුෂ

නා.ප්‍ර. රළු බස්; කර්කශ වචන/ රුදුරු බව; රළු බව (සං. පරුෂ)

පලංගාන

නා. පිඟන් විශේෂයක්; ලොකු පිඟාන (පුර්. palangana)