අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 219

පිළුණු

වි. පිළිනි

පීඨය

නා. පුටුව; ආසනය/ විශ්වවිද්‍යාලයක අධ්‍යයන අංශ කීපයක එකතුව/ පිළ; වේදිකාව (පා. සං. පීඨ)

පීඨාධිපති

නා.ප්‍ර. විශ්වවිද්‍යාලයක අධ්‍යයනාංශයක ප්‍රධානියා

පීඨිකාව

නා. පුටුව (පා. සං. පීඨිකා)

පීඩනමානය

නා. වායුපීඩනය මනින උපකරණය

පීඩනය

නා. තෙරපීම (සං. පීඩන)

පීණනය

නා. සතුටු කරවීම (පා. පීණන)

පීන

වි. පිරුණු; සම්පූර්ණ (සං. පීන)

පීනනවා

ක්‍රි. අත්, පා, වරල් ආදිය උපයෝගී කරගෙන ජලය තරණය කරනවා

පීනස

නා. නාසිකා රෝගයක් (සං. පීනස)

පීලි

නා.ප්‍ර. පිහිල්ල

පීළනය

නා. පෙළීම; පීඩනය (පා. පීළන)

පුණක්කු

නා.ප්‍ර. තල, කොප්පරා ආදිය මිරිකා තෙල් ගත් පසු ඉතිරිවන හපය (දෙ. புண்ணாக்கு)

පුණ්ඩරීකය

නා. සුදු නෙළුම් මල (පා. සං. පුණ්ඩරීක)

පුණ්‍ය කාලය

නා. සිංහල අලුත් අවුරුද්ද උදාවන දිනයේ පින් කිරීමේ නිරත විය යුතු කාලය (සං. පුණ්‍යකාල)

පුණ්‍යවන්ත

වි. පින්වත් (සං. පුණ්‍යවන්ත)

පුණ්‍යාධාර

නා.ප්‍ර. පිං පිණිස කරන පරිත්‍යාගය

පුණ්‍යානුමෝදනාව

නා. පින් පැමිණවීම (පා. පුඤ්ඤානුමොදනා)

පුණ්‍යායතනය

නා. පුණ්‍ය කටයුතු වෙනුවෙන් පිහිටුවන ලද ආයතනය

පුණ්‍යෝත්සවය

නා. ආගමික උත්සවය

පුණු

නා.ප්‍ර. පිරුණු දෙය/ චන්ද්‍රයා (පා. පුණ්ණ සං. පූර්ණ)

පුතණු

නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ පුත්‍රයා; උතුම් පුතා

පුද්ගලාභිවාදනය

නා. පුද්ගලයකුට විශේෂ කොට වැඳුම් පිදුම් කිරීම

පුනපුනා

නි. නැවත නැවත