අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 301

විඥාපනය

නා. පොතක ආරම්භයේ පවතින කර්තෘගේ සටහන/ හැඟවීම; දැන්වීම

විතණ්ඩය

නා. ස්වකීය කථාව ඔප්පු නොකොට පර පක්ෂය පමණක් නිරාකරණය කරන කථාව

විතණ්ඩවාදය

නා. ප්‍රයෝගකාරී වාද විධිය (පා. විතණ්ඩවාදී)

විතත

නා.ප්‍ර. මිහිඟු බෙර ආදි පංචතූර්ය භාණ්ඩයකට අයත් තූර්ය භාණ්ඩයක්/ ප්‍රසිද්ධිය (පා. සං. විතත)

විතථ

වි. අසත්‍ය වූ (පා. සං. විතථ)

විතර්කණය

නා. විචාරාත්මක ව තර්ක කිරීම (පා. විතක්කන)

විතාල

නා.ප්‍ර. තාලයෙන් වියුක්ත වූ ගායනය

විතාළ

වි. ‘විචාරනවා’ යන්නෙහි අතීත කෘදන්තය

විදග්ධ

වි. නිපුණ; පළපුරුදු; දක්‍ෂ/ වියත් (සං. විදග්ධ)

විදමන

නා. සිදුර විදීම; සිදුරු කිරීම/ දුන්නෙන් විදීම (පා. සං. වෙධන)

විදර්ශනා ධුරය

නා. භික්‍ෂූන් විසින් ඉසිලිය යුතු ධුර දෙකෙන් එකක්

විදර්ශනාව

නා. සංස්කාර ධර්ම අනිත්‍යාදි වශයෙන් දැකීම (සං. විදර්ශනා)

විද්‍යමාන

වි. දකින්නට ඇති (සං. විද්‍යමාන)

විද්‍යාඥයා

නා. විද්‍යා විෂයයක ප්‍රවීණයා (සං. විද්‍යාඥ)

විද්‍යාධර

වි. ශාස්ත්‍රය දත්/ මන්ත්‍ර හෝ ඖෂධ හෝ බලයෙන් අහසින් යන (සං. විද්‍යාධර)

විද්‍යානුකූල

වි. විද්‍යාවට අනුකූල වූ

විද්‍යාපීඨය

නා. ශාස්ත්‍රය උගන්වන ආයතනය/ විද්‍යා විෂයයන් හා සම්බන්ධ විශ්වවිද්‍යාල අධ්‍යයනාංශය

විද්‍යාභිවර්ධන

වි. විද්‍යාවේ දියුණුව පිළිබඳ වූ

විද්‍යායතනය

නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන ස්ථානය

විද්‍යාර්ථියා

නා. විද්‍යා ශාස්ත්‍ර ඉගෙනීමට රුචිය ඇති තැනැත්තා; ශිෂ්‍යයා (සං. විද්‍යාර්ථීන්)

විද්‍යාලයය

නා. විද්‍යා ශාස්ත්‍ර උගන්වන ස්ථානය (සං. විද්‍යාලය)

විද්‍යාලයාධිපති

නා.ප්‍ර. විදුහල්පති

විද්‍යාලයීය

වි. විද්‍යාලය හා සම්බන්ධ

විද්‍යාවිශාරද

නා.ප්‍ර. විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් හෝ පිළිබඳ උසස් දැනුමක් ඇති තැනැත්තා/ උපාධියක නාමය