අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 300

විච්චූර්ණ

වි. වැඩි විස්තර වර්ණනා සහිත වූ; පුහු ආටෝප සහිත

විච්ඡින්න

වි. සිඳින ලද (සං. විච්ඡින්න)

විච්ඡේදනය

නා. කොටස්වල ව්‍යූහය දැනගැනීම පිණිස කෙනකු හෝ සතකු හෝ ශාකයක් හෝ කැබලිවලට කපා බැලීම/ කපා ඉවත් කිරීම (පා. විච්ඡෙදන)

විච්ඡේදය

නා. සම්බන්ධය කඩ කිරීම (පා. විච්ඡෙද)

විචාරක්ෂම

වි. විවේචනය කිරීමේ දක්‍ෂ

විචාරණය

නා. විමසීම; පරීක්ෂා කිරීම/ පාලනය (සං. විචාරණ)

විචාරනවා

ක්‍රි. විමසනවා; පරීක්ෂා කරනවා

විචාරය

නා. පරීක්ෂාව; විවේචනය (පා. සං. විචාර)

විචාළ

වි. ‘විචාරනවා’ යන්නෙහි අතීත කෘදන්තය

විචිකිච්ඡා

නා.ප්‍ර. සැකය; පඤ්ච නීවරණයන්ගෙන් එකක් (පා. විචිකිච්ඡා)

විචිත්‍ර

වි. විසිතුරු/ මනෝඥ/ වර්ණවත් (සං. විචිත්‍ර)

විචිත්‍රාංගය

නා. විසිතුරු අංගය; නොයෙක් අංගවලින් යුත් නිර්මාණය

විජයග්‍රහණය

නා. විශිෂ්ට ලෙස ජය ලැබීම

විජයාවතරණය

නා. විජය කුමරු ලංකාවට ගොඩ බැසීම

විජලනය

නා. ශරීරයෙන් පමණ ඉක්මවා ජලය ඉවත් වීම/ අණුවකින් ජලය ඉවත් කිරීම

විජ්ජුල්ලතාව

නා. විදුලිය; විදුලි කොටන විට වැලක් මෙන් පෙනෙන ආලෝක ධාරාව (පා. විජ්ජුල්ලතා)

විජානනය

නා. විශේෂ දැනගැනීම (පා. සං. විජානන)

විජිගීෂාව

නා. දිනන්ට ඇති කැමැත්ත (සං. විජිගීෂා)

විජිනිපත

නා. පවන් ගැසීමට ගන්නා අතුවලින් කළ උපකරණය

විජෘම්භනය

නා. බැබළීම/ ඇඟ මැළි කඩා නැඟී සිටීම (සං. විජෘම්භණ)

විඤ්ඤාණය

නා. අරමුණ විශේෂයෙන් දැනීම; සිත (පා. විඤ්ඤාණ)

විඤ්ඤූ

වි. නුවණැති (පා. විඤ්ඤූ)

විඥප්ති

නා.ප්‍ර. සැල කිරීම; දැන්වීම (පා. විඤ්ඤත්ති)

විඥානය

නා. අරමුණු දැනගැනීමේ නුවණ; විශේෂ ඥානය (සං. විඥාන)