අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 6

අඟවනවා

ක්‍රි. යමක් ඉඟි කිරීමෙන් වටහා ගැනීමට සලස්වනවා

අඟුටුමිට්ටා

නා. සිරුර ඉතා කුඩා පුද්ගලයා (පා. අංගුට්ඨ සං. අංගුෂ්ඨ)

අඟුරු

නා.ප්‍ර. ගින්දර බවට පත් ව තිබී නිවුණු දර හෝ ලී කැබැල්ල/ගිනි අඟර (පා. සං. අඞ්ගාර)

අඟුරු කබල

නා. ගිනි අඟුරු දමා ගැනීමට භාවිත කරන බඳුන

අඟුරු මැලය

නා. දැල්වෙන අඟුරු ගොඩ

අඟුළ

නා. ගංගා, වැව් ආදියේ යාත්‍රා කරන ඔරු විශේෂයක් (පා. සං. සංඝාට)

අඟුළුවා

නා. කරදිය මිරිදිය දෙකෙහි ම වසන මත්ස්‍යයෙක්

අචල

වි. නොසැලෙන; ස්ථිර (පා. සං. අචල)

අචලතාප

වි. පරිසරයේ උෂ්ණත්වය වෙනස්වීම අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවන

අච්චාරු

නා.ප්‍ර. විනාකිරි මිශ්‍ර කොට සාදන කෑම විශේෂයක් (පුර්. achar)

අච්චුව

නා. පිළිම, රූප, භාණ්ඩ ආදිය තනා ගැනීම සඳහා සකස් කර ගත් ආකෘතිය; රාමුව (දෙ. அச்சு)

අචින්ත්‍ය

වි. නොසිතිය යුතු; සිතාගත නොහැකි (සං. අචින්ත්‍ය)

අචේතනික

වි. සිතිවිලි නැති; අප්‍රාණික (පා. සං. අචෙතනික)

අචේලක

වි. නිරුවත්; නග්න (පා. අචෙලක)

අජටාකාශය

නා. හිස් ආකාශය (සං. අජටාකාශ)

අජානීය

වි. උසස් වර්ගයේ උපන් (පා. ආජානීය සං. අජානෙය)

අජීර්ණය

නා. කෑම නොදිරවීම (සං. අජීර්ණ)

අඥාත

වි. නොදන්නා; අවබෝධ නොකළ (සං. අඥාත)

අඥාන

වි. නුවණ නැති (සං. අඥාන)

අටගණය

නා. ඡන්දශ්ශාස්ත්‍රයේ ම, න, බ, ය, ජ, ර, ස, ත යන ගණ අට

අටඟමඟ

නා. ආර්ය අෂ්ටාංගික මාර්ගය (පා. අට්ඨංගිකමග්ග)

අටමඟල

නා. මංගල සම්මත වස්තු අට (සං. අෂ්ටමඞ්ගල)

අටමස්ථානය

නා. අනුරාධපුරයේ පිහිටි පූජනීය ස්ථාන අට

අටල්ල

නා. මුරගෙය; අට්ටාලය (පා. සං. අට්ටාල)

අටසාළිස්

නා.ප්‍ර. හතලිස් අට (පා. අට්ඨචත්තාළීස, අට්ඨචත්තාලීස)