අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 5

අග්න්‍යාශය

නා. ශරීර ඉන්‍ද්‍රියක නාමය; ඇලදිව (සං. අග්න්‍යාශ)

අග්නිය

නා. ගින්න/කුසගින්න (සං. අග්නි)

අග්‍රගණ්‍ය

වි. මූලික ලෙස සැලකිය යුතු; ඉතා උසස් (සං. අග්‍රගණ්‍ය)

අග්‍රප්‍රාප්ත

වි. ශ්‍රේෂ්ඨත්වයට පැමිණි; කෙළවරට පැමිණි (පා. අග්ගප්පත්ත)

අග්‍රඵලය

නා. මුලින් හටගත් ගෙඩිය/ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභය (පා. අග්ගඵල)

අග්‍රවිනිශ්චයකාරයා

නා. අධිකරණයෙහි නායක විනිසුරුවරයා

අග්‍රශ්‍රාවකයා

නා. ප්‍රධාන ශ්‍රාවකයා; අගසවු (පා. අග්ගසාවක)

අග්‍රස්ථ

වි. අගින් පිහිටි; මුදුනෙහි ඇත්තා වූ

අග්‍රාණ්ඩුකාරයා

නා. ඩොමීනියන් රාජ්‍යයක ප්‍රධානයා

අග්‍රාමාත්‍යයා

නා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා

අග්‍රේසර

වි. පුරෝගාමී; මූලික (සං. අග්‍රෙසර)

අග්‍රෝපස්ථායකයා

නා. ප්‍රධාන උවටැන්කරුවා

අගාධ

වි. ඉතා ගැඹුරු; පතුල නොපෙනෙන සේ ගැඹුරු (සං. අගාධ, ආගාධ)

අගුණ

වි. ගුණ නැති; හොඳ නැති (පා. සං. අගුණ)

අගුළ

නා. දොර වසා තද කිරීමට සවි කළ ලී හෝ ලෝහ හෝ උපකරණය (පා. අග්ගළ සං. අර්ගල)

අගුළු කණුව

නා. අගුළ දැරීමට යොදන කණුව

අඝ

නා.ප්‍ර. දුක; ගැහැට; ව්‍යසනය/පාපය; අකුසලය (පා. සං. අඝ)

අඝෝෂය

නා. ස්වර තන්තු කම්පනය නොවී උපදින අකුර; අඝෝෂ අක්ෂරය (සං. අඝොෂ)

අඟ

1. නා. ඇඟ; ශරීරය (ප්‍රා. අංග පා. සං. අඞ්ග) 2. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි ඇති එනම් අවයවය; අංතට්ටුව (පා. සඞ්ග සං. ශෘඞ්ග) 3. අඟුපලඳනාව; කේයූරය

අඟණ

නා.ප්‍ර. මිදුල; මළුව (පා. සං. අඞ්ගණ)

අඟන

නා. ස්ත්‍රිය; කත (පා. සං. අඞ්ගනා)

අඟපසඟ

නා.බහු. ලොකු, කුඩා අවයව; අංගප්‍රත්‍යංග

අඟර දඟර

නා.ප්‍ර. අනුරාග ලීලා විලාසය

අඟල

නා. මිනුම් ප්‍රමාණයක්; අඩියෙන් දොළහෙන් කොටස (පා. සං. අඞ්ගුල)