අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 91

කුටුම්බය

නා. පවුල (පා. සං. කුටුම්බ)

කුඩමැඬිල්ල

නා. කුඩයේ රෙද්දෙන් වැසුණු නන සැකිල්ල

කුඩා පොදු ගුණාකාරය

නා. සංඛ්‍යා කිහිපයක් ඉතිරි නැති ව බෙදෙන කුඩා ම සංඛ්‍යාව

කුණ

නා. මළ සිරුර; අපවිත්‍ර දෙය (පා. සං. කුණප)

කුණකටුවා

නා. සර්ප විශේෂයක නාමය

කුණප

නා.ප්‍ර. පිළිකුල් කටයුතු වස්තුව/ මළ සිරුර (පා. සං. කුණප)

කුණ්ඩල

නා.ප්‍ර. කනෙහි පලඳින තෝඩුව; කොඬොල (පා. සං. කුණ්ඩල)

කුණ්ඩලාභරණ

නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණයක්

කුණාටුව

නා. සැඬ සුළඟ

කුණුකසළ

නා.ප්‍ර. අපවිත්‍ර දේ

කුණුකෙළ

නා. දුගඳ හමන කෙළ

කුණුහරුප

නා.බහු. අසභ්‍ය වචන

කුතුහලය

නා. අපූර්ව දෙයක් දැකීමට හා දැන ගැනීමට ඇති ආශාව (පා. සං. කුතුහල)

කුද්දටිය

නා. ඉකිළි, කිසිලි, ගෙල ආදි ස්ථාන ඉදිමී මතු වන ග්‍රන්ථිය නොහොත් ගැටය

කුඳුල

නා. වියළි ද්‍රව්‍ය මැනීමේ පැරණි මිම්මක්; පලම් දෙකක බර/ ද්‍රව මැනීමේ පැරණි මිම්මක්; පත හෝ අඩපත

කුප්පමේනිය

නා. ඖෂධීය පැළෑටියක් (දෙ. குப்பைமேனி)

කුමන

වි. කිනම්; කවර

කුමන්ත්‍රණය

නා. අයහපත් චේතනාවෙන් කරන රහස් කථාව (සං. කුමන්ත්‍රණ)

කුම්භකර්ණ

නා.ප්‍ර. රාවණ රජුගේ සහෝදරයා/ නිදාගැනීමට සමත් තැනැත්තා (සං. කුම්භකර්ණ)

කුම්භකාර

වි.න කුඹල් (පා. සං. කුම්භකාර)

කුම්භස්ථලය

නා. ඇත් කුඹ; ඇතාගේ හිස් මුදුන

කුම්භාණ්ඩ

නා.ප්‍ර. දේව විශේෂයක නාමය (සං. කුම්භාණ්ඩ පා. කුම්භණ්ඩ)

කුඹ

1. නා.ප්‍ර. කළගෙඩිය/ ඇතාගේ කුම්භස්ථලය (පා. සං. කුම්භ) 2. කණුව/ නැව්වල ඇති කුඹ ගස (පා. සං. කූප)

කුඹල් පෙරහර

නා. මහනුවර ඇසළ උලෙළේ එක් මුල් අවස්ථාවක්