අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 92

කුඹලා

නා. මැටි බඳුන් තනන්නා/ කෘමි විශේෂයක් (පා. සං. කුම්භකාර)

කුඹුර

නා. වී ගොවිතැන් කරන භූමිය

කුරානය

නා. මුස්ලිම්වරුන්ගේ ආගමික ග්‍රන්ථය (අරා. Quran)

කුරුණිය

නා. ද්‍රව්‍ය හෝ ධාන්‍ය හෝ මනින උපකරණයක් (දෙ. குறுண்)

කුරුබිළිය

නා. කුඩා දොරටුව (දෙ. குறும்புழை)

කුරුමානම

නා. එල්ලය; අරමුණු කරගත් දෙය (දෙ. குரி+மானம்)

කුරුලෑ

නා.ප්‍ර. මුහුණෙහි හටගන්නා බිබිලි විශේෂයක්

කුරුලු

නා.ප්‍ර. කුරුල්ලා

කුරුලු පාළුව

නා. වැවකින් ජලය ලබන කුඹුරු කට්ටියක වැව ළඟින් ම හා ඈතින් ම පිහිටි කුඹුරු පටි දෙක/ කුරුල්ලන්ගේ පරිභෝජනය වෙනුවෙන් වෙන් කෙරෙන කුඹුරු කොටස

කුරුවලු

වි. මේරීමට පෙර නරක් වූ

කුලකය

නා. සමූහය; සමුදාය; රාශිය (පා. සං. කුලක)

කුලඟන

නා.ප්‍ර. කුල කාන්තාව

කුලප්පුව

නා. කුළප්පුව

කුලමල

නා.ප්‍ර. කුලය පිළිබඳ දොස් හෝ අඩුපාඩුකම්

කුලය

නා. වංශය; ගෝත්‍රය (පා. සං. කුල)

කුලාචාර

නා.ප්‍ර. කුලයට අයත් සිරිත් (සං. කුලාචාර)

කුලෑටි

වි. නුහුරු; නුපුරුදු

කුලිච්චම

නා. මෙට්ටය (පුර්. colchao)

කුලිය

නා. කළ සේවයට ගෙවන දීමනාව (දෙ. கூலி)

කුලීන

වි. උසස් කුලයට අයත් (පා. සං. කුලීන)

කුලු

නා.ප්‍ර. ගල්, වැලි ආදි අපද්‍රව්‍ය ධාන්‍යවලින් වෙන් කිරීමට භාවිත කෙරෙන ගෘහෝපකරණයක් (පා. කුල්ල සං. කුල්‍ය)

කුලුණු

නා.ප්‍ර. කරුණාව; දයාව (පා. සං. කරුණා)

කුලුනු

නා.ප්‍ර. කණුව; ටැඹ (පුර්. coluna, colunna, columna)

කුලුඳුල්

වි. පළමු; වැඩිමහල්