සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1064

පාංශු ශ්‍රේණිය

(පාරිභා.) නා. පස් වර්ගය ; පස අයත් වන ගණය.

පාංශු සංවර්ධනය

(පාරිභා.) නා. පස සරු කිරීම ; පසෙහි සාරවත් බව වැඩි කිරීම.

පාංශු ස්‍යන්දනය

(පාරිභා.) නා. පස් හා පාෂාණ සුන්බුන් ආදිය වර්ෂාව ආදි හේතු නිසා පහතට යෑම; කඳු බෑවුම්වල පස සේදී යෑම.

පාංශු හායනය

(පාරිභා.) නා. එක ම බෝග වර්ගය නොකඩවා වගා කිරීම නිසා පසෙහි ඛණිජ ලවණ නැති වී යෑම.

පාංශුකූලය

1. නා. කසල ගොඩෙහි වූ රෙදිකඩ ; සොහොන්, කසළගොඩ ආදී තන්හි පස්වැකුණු රෙදි කැබැල්ල.
2. මියගිය තැනැත්තහුට පිං පිණිස අවමගුලේ දී භික්ෂූන්ට පිරිනැමෙන රෙදිකඩ; මතක වස්ත්‍රය.

පාංශුරුභයා

(පාරිභා.) නා. පොළොව තුළ හෝ පිට වසන ජීවියා.

පාංශූල

වි. දුවිලි සහිත ; දූලි තැවරුණු ; ධූලින් ගැවසී ගත්

පාංශූලය

නා. ශිව දෙවියාගේ මුදුනෙහි හිස්කබලක් සහිත සැරයටිය.

පාංශූලයා

නා. ශිවදෙවි ; ඊශ්වර

පාංසු පිශාචකයා

නා. කසළ ගොඩවල් ආදි අපවිත්‍ර ස්ථානවල නිතර හැසිරෙන ප්‍රේතයා.

පාක

1. වි. උයන ලද ; පිසූ ; පිසින ලද.
2. කකාරවන ලද; පැසවන ලද.
නා.ප්‍ර. තරුණ බව ; යොවුන් බව.

පාක පාත්‍රය

නා. යමක් පිසීම සඳහා උපයෝගී කරගන්නා බඳුන; ඉවුම් පිහුම් කරන භාජනය.

පාක ශාලාව

1. නා. පුරාණ රජවාසල ආහාර පිසින ගෙය ; මාලිගයෙහි මුළුතැන්ගෙය.
2. බොජුන්හල ; භෝජනාගාරය.

පාකය

1. නා. ඉවීම ; පිසීම ; පිසමන.
2. ආමාශයේ ආහාර පැසවීම ; ආහාර දිරවීම; ජීර්ණය.
3. පානයක්, ඖෂධයක් කැකෑරීම.
4. - තුවාල වණ ආදිය මුහුකුරා යෑමයෙහි හෝ ඇස් කන් ආදියෙහි පැසවීම.
5. මේරීම ; වැඩීම.
6. විපාකය.

පාකර

1. නා.ප්‍ර. ඇස්වටය ; වළලුකර
2. කකුල සහ අත ; පාදය සහ හස්තය.

පාකරනවා

1. ක්‍රි. යමක් දිය මත රැඳෙන්නට සලස්වනවා ; ජලයෙහි නොගිළී ගමන් කිරීමට සලසනවා ; ජලය සමඟ බැස මට සලස්වනවා.
2. පහ කරනවා ; ඉවත් කරනවා ; ඉක්මවනවා.
3. නැති කරනවා.
4. පෝෂණය කරනවා.
5. බොනවා ; පානය කරනවා.

පාකවිද්‍යාව

නා. ආහාර පිසීම පිළිබඳ ශාස්ත්‍රය ; ශාස්ත්‍රානුකූල ව ඉවුම් පිහුම් කිරීමේ ක්‍රමය ; සූප ශාස්ත්‍රය.

පාක්කුඩං

නා.ප්‍ර. පුදපඬුරු ; දැකුම් ; තෑගිබෝග ; ත්‍යාග.

පාක්ෂික

1. වි. පැත්තකට අයත් ; පැත්තක් ගත් ; පක්ෂයෙහි වූ ; පක්ෂපාත ; පක්ෂයකට අයත්.
2. අඩමසකට අයත් ; සති දෙකකට වරක් සිදුවන.

පාක්ෂිකයා

නා. පැත්තක් ගත් තැනැත්තා ; පක්ෂයකට අයත් තැනැත්තා ; පක්ෂවාදියා.

පාකාශ ප්‍රදාහය

(පාරිභා.) නා. මහ බඩවැලෙහි හටගන්නා කැක්කුම ; පාකාශයෙහි ඇති වන ප්‍රදාහය.

පාකාශය

[පාක + ආශය]
නා. මහ බඩවැල.

පාගනවා

1. ක්‍රි. යමක් මත පය තබනවා ; පතුලින් ස්පර්ශ කරනවා ; අඩිය තබනවා.
2. පයින් මඬිනවා ; පයට යට කරනවා.
3. පයෙහි ආධාරය ඇති ව යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා.
4. (කථා.) (රූඪි.) පහත් ලෙස සලකනවා ; පීඩනයට පත් කරනවා ; යටත් කරනවා.

පාචක

වි. ආහාර දිරවන ; ආහාර පැසවීම කරන ; පැසවීමට උපකාර වන.
නා.ප්‍ර. (ආහාර දිරවීමට උපයෝගී වන) පිත ; පිත්තය.