සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1107

පුලිඟු

1. නා.ප්‍ර. පුරුෂ ලිංගය ; පුල්ලිංගය.
2. ගිනිපුපුර.

පුලිඟු විභවය

(පාරිභා.) නා. පරිවාරක මාධ්‍යයක පුලිඟුවක් වශයෙන් විසර්ජනයක් ඇති වීම පිණිස අවශ්‍ය විද්‍යුත්ගාමක බලය.

පුලින

නා.ප්‍ර. වැලි ; වාලුකා ; වැලිතලා.

පුලින්ද

නා.ප්‍ර. වනගත මනුෂ්‍ය ගෝත්‍රයක්.

පුලිමුඛම්

නා.ප්‍ර. අලංකාරය සඳහා ප්‍රාසාදියෙහි දොරටුවල බදාම ආදියෙන් සාදා තිබෙන ව්‍යාඝ්‍ර මුඛය.

පුලිය

නා. යම්කිසි බරක් එසවීමට හෝ ඇදීමට රැහැනක ආධාරයෙන් කැරකැවිය හැකි ධාරකයකට සවිකළ පීල්ලක් සහිත රෝදය ; කප්පිය.

පුලුක්ගොබ

නා.ප්‍ර.බහු. පොල් ගොබ ; විහිදීමට පෙර පොල් ගසේ ළපටි අත්ත ; ගොක් අත්ත.

පුලුටු

නා.ප්‍ර. තෙලින් හෝ කබලෙන් බදින ලද මස් හෝ මාලු වර්ග ; බැදුම් වර්ග.

පුලුප් කලස

නා. පොල් මලින් සැරසූ කළය ; සැරසිල්ලක් ලෙස ගොක් කොළෙන් කළ කලස.

පුලුප් බදනා

නා. හාල් පිටියෙන් පිළියෙල කරගන්නා රසකැවිලි වර්ගයක් ; ආස්මි ; දැල් පූ.

පුලුපු

නා.ප්‍ර. පොල් ; නාලිකේර ; නෙරළු.

පුවක්

නා.ප්‍ර. තාල වර්ගයට අයත් වූ ද, බුලත් විටට ගෙඩි සපයන්නා වූ ද සිහින් උස ගස.

පුවක් බද්ද

නා. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පාලනය කළ අවදියේ දී පුවක් විකිණීම වෙනුවෙන් අය කළ බද්ද.

පුවත

1. නා. තොරතුර ; ආරංචිය ; ප්‍රවෘත්තිය.
2. යථා තත්ත්වය ; යථා ස්වභාවය ; ඇති තතු.
3. පැවැත්ම ; පැවතුම ; පෙවෙත.

පුවතර

වි. බොහෝ දෙනා අතර පැතිර ගිය ; ප්‍රසිද්ධියට පත් වූ ; ප්‍රකට ; ප්‍රචලිත.

පුවත්පත

නා. එදිනෙදා සිදුවීම් පිළිබඳ තොරතුරු, ලිපි, දැන්වීම්, වෙළඳ පුවත් ආදි වැදගත් කරුණු ඇතුළත් දිනපතා, සතිපතා ආදි වශයෙන් මුද්‍රණය කොට කෙරෙන ප්‍රකාශනය ; ප්‍රවෘත්ති පත්‍රය.

පුවත්පත් කලාව

නා. පුවත්පත් සකස් කිරීම පිළිබඳ ශිල්පය ; ප්‍රවෘත්ති පත්‍ර සංස්කරණය පිළිබඳ ශාස්ත්‍රය.

පුවත්පත් කලාවේදියා

නා. පුවත්පත් සකස් කිරීමේ ශාස්ත්‍රය දත් තැනැත්තා ; පුවත්පත් කලාව වෘත්තිය කොට ගත් පුද්ගලයා.

පුවනවා

ක්‍රි. කිසිවක් දෙසට අඞ්ග ප්‍රත්‍යඞ්ග දිගු කරනවා ; දික් කරනවා ; ප්‍රසාරණය කරනවා.

පුවරු ගෙය

නා. ලෑලිවලින් කළ පාළම ; ලෑලි පාළම.

පුවරුව

නා. පෝරුව ; දැව ගල් ආදියෙන් කපා සකස් කරගත් සමතලා උපකරණය ; බඳුන් ආදිය තැබීම සඳහා පිළියෙල කරගත් තටුව ; ලිවීම සඳහා සකස් කරගත් ටැඹ ; ඵලකය.

පුවළ

1. වි. බොහෝ අධික වූ ; බලවත් වූ ; ප්‍රබල වූ.
2. පැතිර සිටි ; විස්තීර්ණ වූ ; පෘථුල.
3. උසස් ; උත්තම ; උදාර ; ශ්‍රේෂ්ඨ.
නා.ප්‍ර. ගරුගාම්භීරත්වය ; උදාර බව.

පුෂ්කර

1. නා.ප්‍ර. නෙළුම ; පද්මය.
2. බෙරයෙහි හම.
3. කොන ; අග ; නෙත්තිය.
4. ජලය ; වතුර.
5. අහස ; ආකාසය.
6. ශරීරය.
7. පොකුණ ; විල.
8. මුඛය ; මුහුණ.

පුෂ්කර යෝගය

නා. (ජ්‍යෝති.) සියලු ම ශුභ වැඩට නැකත් සාදන යෝගයක්.