සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1110

පුළුලුර

නා.ප්‍ර. පළල් වූ උරහිස ; පපුව ; ළපැත්ත.

පුළුවන්

පිළිවන් බ.

පුළුවන්කාරයා

(කථා.) නා. පොහොසතා ; බලවතා ; මුදල් වියදම් කළ හැකි තැනැත්තා.

පුළුවුසිනවා

ක්‍රි. විචාරනවා විමසනවා ; අහනවා ; ප්‍රශ්න කරනවා.

පූ

1. නා.ප්‍ර. මල ; කුසුම ; පුෂ්පය.
2. කැවුම් ; ගිතෙල්.

පූකූරුව

නා. කෝප්පයකට සමාන හැඩයෙන් යුත් පැන් ආදිය බීමට පාවිච්චි කරන මැටි/වීදුරු භාජන විශේෂයක් ; කෙණ්ඩිය ; ගුරුලේත්තුව.

පූච්චම

1. නා. ආත්මවර්ණනාව ; පුරසාරම ; කයිවාරුව.
2. රැවටිලි බස ; තායම ; ඉච්චාව.
3. නිස්සාර කතාව ; ප්‍රලාපය.

පූජක ආවාසය

නා. (ක්‍රිස්ති.) රෝමානු කතෝලික පූජකවරයකුගේ වාසස්ථානය.

පූජක උපාය

නා.ප්‍ර. (ක්‍රිස්ති.) තම වෘත්තියේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම සඳහා පූජකයකු අනුගමනය කළයුතු ක්‍රියා මාර්ගය.

පූජක තන්ත්‍රය

නා. ප්‍රජා පාලනය දෙවියන් වහන්සේගේ නියමය වශයෙන් සලකා ආගමික නීති අනුව රට පාලනය කිරීම ; පූජකවරුන්ගේ ආණ්ඩුව.

පූජකයා

1. නා. පුදන්නා ; පූජා පවත්වන්නා.
2. ගෘහවාසය අතහැර පැවිදි ජීවිතයට බැසගත් තැනැත්තා ; ආගමික ජීවිතයක් ගත කරන්නා පැවිද්දා.

පූජකවරය

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ගේ අනුක්‍රමික නිලපදවි.

පූජනීය

වි. පූජා ලැබීමට සුදුසු ; පුදනු ලැබිය යුතු ; පූජාර්හ ; ගරු කටයුතු.

පූජ්‍ය

වි. පිදිය යුතු ; පුදනු ලැබිය යුතු ; පූජාවට සුදුසු.

පූජ්‍යපක්ෂය

නා. පිදුම් ලැබීමට සුදුසු පිරිස ; පාර්ශ්වය.

පූජා ඇඳුම

නා. (ක්‍රිස්ති.) දේව මෙහෙයවල දී හා විශේෂ අවස්ථාවල දී පූජකවරුන් විසින් අඳිනු ලබන ඇඳුම.

පූජා කරනවා

1. ක්‍රි. පුද කරනවා ; පූජාවක් පිරිනමනවා ; ගෞරවයෙන් දෙනවා.
2. ගෞරව කරනවා ; ගරු සැලකිලි දක්වනවා.

පූජා නගරය

(නව.) නා. ආගමික ගොඩනැගිලි ආදියෙන් යුක්ත වූ ද පූජා භූමියක් ලෙස වෙන් කරන ලද්දා වූ ශුද්ධ භූමිය.

පූජා පූපය

නා. (ක්‍රිස්ති.) දිව්‍ය ප්‍රසාදය ලැබීමේ දී අනුභව කරනු ලබන පූප විශේෂයක්.

පූජා ඵලකය

නා. පූජා කරනු ලබන ද්‍රව්‍ය තබන ලෑල්ල ; පූජා ද්‍රව්‍ය තබන පුවරුව.

පූජා භාණ්ඩ

නා.ප්‍ර. පූජාව පිණිස ගනු ලබන ද්‍රව්‍ය ; පුද පිණිස ගනු ලබන දෑ.

පූජා ලිපිය

නා. ඉඩකඩම් ආදිය පූජා කිරීමේ දී එම පූජාව පිළිබඳ විස්තර දක්වමින් ලිඛිත ලේඛනය.

පූජාර්හ

වි. ගරු සත්කාර ලැබීමට සුදුසු ; වැඳුම් පිදුම් ලැබීමට යෝග්‍ය ; පූජාවට නිසි.

පූජාව

1. නා. යමක් ගෞරව පූර්වකව දීම ; පිදීම.
2. පූජා කටයුත්තක් හා ආශ්‍රිත කාර්යාවලිය.
3. පූජා කරන දෙය ; පූජා භාණ්ඩය.
4. (ක්‍රිස්ති.) යාගය.