සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1127

පේස

නා.ප්‍ර. වස්ත්‍ර විශේෂයක් ; පට;සේද.

පේසකයා

නා. සේවකයන් වැඩෙහි යොදවන්නා ; සේවා යෝජකයා.

පේසකාරයා

නා. රෙදි වියන කුලයට අයත් තැනැත්තා ; රෙදි වියන්නා ; පෙහෙරා.

පේසගණිතය

(පාරිභා.) නා. රෙදි විවීම සඳහා නූල් බර ඒ ඒ රෙදිවලට අවශ්‍ය දික් හරස් නූල් ප්‍රමාණය හා ඒවායේ වටිනාකම ආදිය දැනගැනීම සඳහා ව්‍යවහාර කරනු ලබන ගණිත විශේෂය.

පේසත්

1. නා.ප්‍ර. පරලොව ගිය ඥාතියා ; ප්‍රේත සත්ත්වයා.
2. ප්‍රේත ආත්මයෙහි උපන් තැනැත්තා ; ප්‍රේතයා.

පේසනකයා

1. නා. ඔත්තුකාරයා.
2. මං පහරන්නා ; මංකොල්ලකාරයා.

පේසාව

1. නා. චෛත්‍යයක සාදා ඇති බිම් මහල් වළලු තුන ; පියවසාව ; වේදිකා භූමිය ; අඩිතාලම.
2. පවුරක හෝ ගොඩනැගිල්ලක හෝ පදනම සවිවීමට පිටින් බඳින ලද බැම්ම ; කයියෝරුව.

පේළාව

1. නා. පෙට්ටිය ; පේටිකාව.
2. මුදල් දමන පසුම්බිය.

පෛතෘක

වි. පියාගෙන් අයිති වූ ; පියාට අයත් හෝ සම්බන්ධ.

පෛබ්‍රිනොජන්

(පාරිභා.) නා.ප්‍ර. රුධිර ප්ලාස්මයෙහි පවතිමින් පෛබ්‍රින් සාදන ප්‍රෝටීනය.

පෛශාචී

නා.ප්‍ර. නොදියුණු මිනිසුන් අතර ව්‍යවහාර වූ මධ්‍යතන ඉන්දු ආර්ය ප්‍රාකෘත භාෂාවක් ; පාළි භාෂාවට සමීප වූ ප්‍රාකෘතවලට වඩා පැරණි භාෂා විශේෂයකි.

පෛශුන්‍යවාදියා

නා. කේලාම් වචන කියන්නා.

පොංගල්

නා.ප්‍ර. සූර්යයා මකර රාශියට පැමිණීම නිමිත්තෙන් දෙමළ ජනයා විසින් (ජනවාරි පෙබරවාරි සමයේ දී) පවත්වනු ලබන සංස්කෘතික උත්සවය.

පොක්කලම

1. නා. මුහුදේ ගැඹුරු ප්‍රදේශය ; දියඹ.
2. සම මතුපිට නැගෙන දිය බුබුල ; ගඩුව.

පොකැට්ටුව

1. නා. සම් ආදියෙන් තැනූ මුදල් දමන කුඩා පසුම්බිය.
2. සාක්කුව ; ඇඳුමට, බෑගයකට, පොතකට හෝ වෙනත් එවැනි යමකට බද්ධ ව පවතින සාක්කුව.

පොකිරිස්සා

නා. කලපුවල ද නොගැඹුරු මුහුදේ ගල්පර අතර ද වසන ලොකු ඉස්සා.

පොකුටු

වි. රැලි ගැසුණු ; වකුටු ; බොකුටු වූ.

පොකුණ

නා. නොගැඹුරු කුඩා ජලාශය ; පුෂ්කරණිය.

පොකුණු ප්ලවංග

(පාරිභා.) නා.ප්‍ර. කුඩා ජලාශවල මතුපිට පාවෙන ක්ෂුද්‍ර ජීවීන් හා ජලජ පැළෑටි වෙසෙස් පිළිබඳ සංකීර්ණය.

පොකුර

1. නා.ප්‍ර. රාශිය ; සමූහය ; ගෙඩි හෝ මල් රැස ; බුරුත්ත ; මිටිය ; වල්ල.
2. නෙළුම් පැළෑටිය.
3. නෙළුම්මල
4. නෙළුම් පත්‍රය.
5. ඇත්සොඩේ අග.
6. සිරුර ; ශරීරය

පොකුරඹ

[පොකුරු + අඹ]
1. නා.ප්‍ර. නෙළුම් කොළය මතුයෙහි වැටෙන ජලය.
2. ඇත් සොඬින් විද පිට කරන ජලය.

පොකුරු පත

නා. නෙළුම් කොළය ; පුෂ්කර පත්‍රය.

පොකුරු මී

1. නා.ප්‍ර. නෙළුම් පත්හි වැටී පින්නෙන් තෙමී හිරු රැසින් ඝන වූ නෙළුම් රොන්.
2. නෙළුම්මල් පැණි.

පොකුරු යෝගය

නා. පලතුරු අල ආදිය සිටුවීමට ඉතා හොඳ නැකැත් යෝගයක්.