සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1269

මූලික පදාර්ථ

නා.ප්‍ර. (රසා.) භෞතික විශ්වය සමන්විත වී තිබෙන ද්‍රව්‍ය.

මූලික ප්‍රජාව

(පාරිභා.) නා. (සත්ව.) පොදු පරිසරයක ජීවත් වෙමින් අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වන ප්‍රාථමික ජීවිහු සමූහයක්.

මූලික රාශිය

(පාරිභා.) නා. (භෞති.) මිනුම් ක්‍රමයකට අදාළව වෙන් කොට ඇති කුඩා භෞතික කොටස්වලින් එකක්.

මූලික වැටුප

නා. දීමනා රහිත වැටුප.

මූලික ශ්‍රේණි

(පාරිභා.) නා. (භෞති.) ඇතැම් පරමාණුවල සහ අයනවල ඇති රේඛා මාලාව ; ශ්‍රේණිය.

මූලික සංඛ්‍යාතය

(පාරිභා.) නා. (භෞති.) ප්‍රත්‍යාවර්තක තරංගයක මූලික සංරචකයේ සංඛ්‍යාතය.

මූලික සන්ධානය

(පාරිභා.) නා. ජාතීන් අතර ප්‍රථමයෙන් ම විධිමත් ලෙස ඇති කර, ස්ථිර කරගත් ගිවිසුම ; මූලික සම්බන්ධීකරණය.

මූලික ස්වරය

නා. (ඉතා පහත් හඬ) ප්‍රාථමික නාදය ; මුල් හඬ.

මූලික සාධකය

(පාරිභා.) නා. (ගණිත.) එකට වැඩි කළ විට අවශ්‍ය සංඛ්‍යාව සංඛ්‍යා දෙකකින් හෝ වැඩි ගණනකින් හෝ එකක්.

මූලික සිතියම

නා. අතින් අඳින ලද සිතියම ; දළ සිතියම.

මූලික සිද්ධාන්තය

නා. මුලින් සම්මත වූ නියමය ; මූල සිද්ධාන්තය ; පිළිගත් නීතිය.

මූලිකාව

(පාරිභා.) නා. කුඩා මූල.

මූලෝච්ඡින්න

[මූල + උච්ඡින්න]
වි. සහමුලින් ම විනාශ කරන ලද ; මුලින් ම සිඳ දමන ලද.

මූලෝත්පත්තිය

[මූල + උත්පත්තිය]
නා. මුලින් ම ඉපදීම ; මුල් ම හටගැනීම.

මූලෝත්පාටනය

[මූල + උත්පාටනය]
නා. මුලින් ම ගලවා දැමීම ; මුලිනුපුටා දැමීම.

මූලෝද්ධරණය

[මූල + උද්ධරණය]
නා. මුලිනුපුටා දැමීම.

මූවිට

(කථා.) නා.ප්‍ර. (මලු, පැදුරු ආදියෙහි) වාටිය ; අයින ; කෙළවර.

මූවිත

1. නා.ප්‍ර. මූත්‍රාශය ; මූත්‍ර මාර්ගය.
2. ගර්භාෂයේ වැඩෙන කළලය ආරක්ෂාව සඳහා සෑදෙන ද්‍රව්‍ය රැස් කෙරෙන කෝෂයේ මුඛය.

මූසල

වි. දැකීමට නුසුදුසු වූ අවාසනාවන්ත වූ ; කාලකණ්ණි වූ.

මූසාව

(පාරිභා.) නා. කෝවය.

මූසික

නා.ප්‍ර. මීයා.

මූසිලයා

1. නා. ගුත්තිල ජාතකයෙහි එන ගුත්තිලාචාර්යවරයාගේ ශිෂ්‍ය ගාන්ධර්වයා.
2. දැකීමට නුසුදුසු තැනැත්තා ; අවාසනාවන්තයා ; කාලකණ්ණියා.

මෘග රාජයා

1. නා. සිවුපාවන්ගේ ප්‍රධානයා වන සිංහරාජයා.
2. මුව රැළක ප්‍රධානයා.

මෘග සංවර්ෂාව

නා. කල්පාන්තයෙහි හට ගනිතැයි විශ්වාස කරන ලෝක විනාශ වර්ෂාව ; මෘග වර්ෂාව ; මුරුගසං වරුසාව.