සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 127

අපත්‍රපා

1. නා.ප්‍ර. විළිය; ලජ්ජාව.
2. (අභි.) නා.ප්‍ර. පාපධර්ම කෙරෙහි බිය; පවට බිය වීම.

අපතේ යනවා

ක්‍රි. නාස්ති වෙනවා; ප්‍රයෝජනයක් නොවී අහක යනවා; නිරර්ථක ලෙස වියදම් වෙනවා.

අපථය

නා. නොමඟ; වැරදිමඟ.

අපථ්‍යය

1. නා. අයෝග්‍යය; නුසුදුස්ස.
2. නා. සනීපයට අහිත ආහාරපානාදිය; සුබදායක නොවන කෑමබීම.

අපද

1. වි. පාද රහිත; පා නැති.
2. වි. අමූලික; අසත්‍ය; ප්‍රතිෂ්ඨා රහිත.
නා.ප්‍ර. අනතුරු; විපත; ආපදාව.

අපදන්

1. නා.ප්‍ර. අහකට ගැනීම; ඉවත් කිරීම; පහ කිරීම.
2. (ව්‍යාක.) නා.ප්‍ර. අවධි විභක්තියේ අර්ථය; අවධිකාරකය.
(කථා.) වි. නාස්ති වූ; අපතේ ගිය; නිෂ්ඵල ලෙස වියදම් වූ.

අපද්‍රව්‍යය

නා. පිරිසිදුකම නැති කරන ද්‍රව්‍ය; කසල; බැහැර කළ යුතු අපිරිසිදු ද්‍රව්‍යය.

අපදානය

1. නා. උදාර චරිතය; සාධු චරිතය.
2. නා. උදාර ක්‍රියා සහ පුණ්‍ය ක්‍රියා පිළිබඳ කථාව; ජීවිත කථාව; කථා ප්‍රවෘත්තිය.
3. නා. ඛුද්දක නිකායට අයත් තෙළෙස් වැනි ධර්ම සංග්‍රහය.

අපදේශය

1. නා. පෙන්වා දීම; දැක්වීම.
2. නා. ධර්ම විනය පිළිබඳ කරුණක් සඳහා නිශ්චය වශයෙන් ඉදිරිපත් කෙරෙන සාධකය.
3. නා. වෙස් වළාගැනීම; ව්‍යාජ වේශය.

අපනයනය

1. නා. ඉවත් කිරීම; පහ කිරීම; බැහැර කිරීම.
2. නා. ඉවතට ගෙන යෑම; ද්‍රව්‍ය ආදිය විදේශ කරා පැමිණීම.

අපනායක

(පාරිභා.) වි. පිටතට ගෙන යන; අපහාරික (=abductor).

අපනීත

වි. ඉවත් කළ; පහ කළ; අහක් කළ.

අපපාඨය

නා. වැරදි පාඨය; සදොස් පදය.

අපභ්‍රෂ්ට

වි. බැහැර කළ; ඉවත දැමූ.

අපභාෂාව

නා. සමාජයේ පහළ ජනකොටස් විසින් ව්‍යවහාර කරනු ලබන ග්‍රාම්‍ය භාෂාව; අසම්මත බස (=slang).

අපමණ

වි. ප්‍රමාණයක් කළ නොහැකි; අප්‍රමාණ.

අපමානය

නා. අගෞරවය; අපකීර්තිය; අවඥාව.

අපමානිත

වි. අවමානයට භාජන වූ; නින්දා විඳින ලද; ගර්හිත.

අපමෘත්‍යු

නා.ප්‍ර. හදිස්සියෙන් හෝ අතුරු අන්තරාවකින් හෝ සිදුවන මරණය.

අපයාත

වි. පහව ගිය; ඉවත් ව ගිය.

අපයානය

නා. ඉවත් ව යෑම; පසු බැස්ම; පලායෑම.

අපර

1. වි. වෙනත්; අනෙක්; ඉතිරි.
2. වි. පසු; ඊළඟ.
3. වි. බටහිර.
4. (තර්ක.) වි. වඩා පටු; පරිමිත; විස්තීර්ණ නොවූ.
5. (තර්ක.) වි. දුර; ඈත; අපරත්ව.
6. (පාරිභා.) වි. අවයවයක පිටිපස්සෙහි පිහිටි.

අපර ක්‍රියාව

1. නා. (ව්‍යාක.) වාක්‍යයක අවසානය ප්‍රකාශ කරන ආඛ්‍යාත පදය; අවසාන ක්‍රියාව.
2. නා. අවමඟුල් කටයුතු; අවමංගල්‍ය චාරිත්‍ර.

අපර පක්ෂය

නා. චන්ද්‍ර මාසයෙහි කාල පක්ෂය.