සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1309

රක්තමධුරාධික්‍යය

(පාරිභා.) නා. රුධිරයෙහි ආරක්ෂා සහිත ව යුතු සීනි ප්‍රමාණය වැඩි වීම.

රක්තමාලය

නා. ස්ත්‍රී රෝගයක් ලේ මාලය ; මහ ලේ රෝගය.

රක්තමිලන සුචිවස්තිය

(පාරිභා.) නා. සියුම් නහරවලට බෙහෙත් ආදිය විදීම සඳහා භාවිත කරන නලය සහිත කටුව.

රක්තරංගය

(පාරිභා.) නා. රක්තාණුවෙහි රතු පැහැය ඇති කරන ද්‍රව්‍යය ; හිමොග්ලෝබින්.

රක්තරිතය

(පාරිභා.) නා. ගුද මාර්ගය වටේ ඇති ශිරා ඉදිමීමෙන් ඇති වන ආබාධය ; අර්ශස්.

රක්තවාත

නා.ප්‍ර. වාතය කිපී රුධිරය දූෂණය වීමෙන් හටගන්නා රෝග.

රක්තවාහි

නා.ප්‍ර. ශරීරයේ රුධිර සංසරණයට ඉවහල් වන නාල විශේෂය ; රුධිරවාහිනී නාල.

රක්තවේදය

(පාරිභා.) නා. රුධිරය හා එහි හටගැනෙන රෝග පිළිබඳව උගන්වන ශාස්ත්‍රය.

රක්තා

(කථා.) නා.ප්‍ර. ගින්දර ; ගින්න ; වහ්නිය.

රක්තාඝාතය

නා. මොළයට සාමාන්‍යයෙන් සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසා ශරීරාවයව අප්‍රාණිකව සිහිසන් නැතිවීම.

රක්තාණු

නා.ප්‍ර. රුධිරයේ ඇති ප්‍රධාන ජීවාණුවක් ; රුධිරය බෙදෙන කොටස් දෙකෙන් එකක්.

රක්තාණු භේදය

(පාරිභා.) නා. රක්තාණු දිය වී යෑම ; රක්තාණු ජාරණය.

රක්තාණු ශෛථිල්‍යය

(පාරිභා.) නා. ලේ කැටි ගැසීම.

රක්තාතිසාරය

නා. මල සමග අධික ලෙස ලේ පහවීමේ රෝගය ; ලේ බඩ යාම ; ලේ අතීසාරය ; ලෝහිතපක්ඛන්දිකාව.

රක්තානන

[රක්ත + ආනන]
නා.ප්‍ර. රතුපැහැ මුහුණ ඇත්තා ; කුජ ග්‍රහයා ; අඟහරු.

රක්තිය

(පාරිභා.) නා. ආදරය ; ඇල්ම.

රක්ෂක

වි. රකින ; ආරක්ෂා කරන.
1. නා.ප්‍ර. ආරක්ෂකයා ; රකින්නා ; ගෝපකයා.
2. නිත්‍යනුකූල ස්වාමිපුරුෂයා.
3. රක්ෂණය වූ අයට සිදු විය හැකි ආපදාවන්ගෙන් ආරක්ෂාව ලබාදීමට හෝ අන්තරාවක් සිදුවුවහොත් ඊට වන්දි ලබාදීමේ වගකීම භාරගන්නා තැනැත්තා.

රක්ෂකය

(පාරිභා.) නා. චුම්බකයක චුම්බකත්වය රැකීමට තිබෙන මෘදු යකඩ කැබැල්ල ; ආරක්ෂක උපකරණය.

රක්ෂණ

1. වි. ආරක්ෂා කරන ; රක්ෂා කරන ; රකින.
2. ආරක්ෂා සලසන ; නිත්‍යනුකූල ආරක්ෂාව ලබාදෙන ; රක්ෂිත දේවල් කෙරෙහි නිත්‍යනුකූල රක්ෂණයක් ලබාදෙන.
1. නා.ප්‍ර. රැකීම ; ආරක්ෂාව සැලසීම ; සුරැකීම.
2. ආහාරපානාදිය නරක් නොවී කල්තබා ගැනීම.
3. පාඩු විඳිනු ලබන්නන්ට වන්දි ගෙවීම පිණිස නිත්‍යනුකූලව ඇති කරගන්නා ලද ගිවිසුමකට අනුව සලසන ආරක්ෂාව.

රක්ෂණ ඔප්පුව

නා. රක්ෂිත අවදානම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිතව රක්ෂණ වගකීම් ඇතුළත් කොට දෙනු ලබන ලියවිල්ල ; රක්ෂිත හා රක්ෂක අතර පවත්නා ගිවිසුම ; රක්ෂණ පත්‍රය.

රක්ෂණ ක්‍රමය

නා. රක්ෂිතයාට සිදුවිය හැකි ආපදාවන්ගෙන් ආරක්ෂාව ලබාගැනීමේ හා අන්තරායක් සිදුවුවහොත් ඊට වන්දි ලබාගැනීම සඳහා සකස් කළ වැඩ පිළිවෙල.

රක්ෂණ ගිවිසුම

නා. අලාභයක් හානියක් හෝ අන්තරාවක් සිදුවූ අවස්ථාවකදී පාඩු පිරිමැසීම ; වන්දි හෝ අලාභ මුදල් ලබාගැනීම සඳහා රක්ෂණ සමාගමක් සමග ඇති කරගන්නා ගිවිසුම.

රක්ෂණ ද්‍රව්‍ය

(පාරිභා.) නා.ප්‍ර. කෑමවර්ග කල් තබා ගැනීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය.

රක්ෂණ බන්ධනාගාරය

නා. නඩු විභාගය අවසන් වනතුරු හෝ නඩුවට අදාළ තොරතුරු සපයාගන්නා තුරු සැකකරුවකු රඳවා තබන බන්ධනාගාරය.