සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 135

අප්‍රමත්ත

වි. (කුසල් කිරීමෙහි) ප්‍රමාද නොවූ; සිහියෙන් යුක්ත ව වසන.

අප්‍රමාණ

1. වි. ප්‍රමාණ රහිත; සීමා රහිත.
2. (න්‍යාය.) වි. සාක්ෂ්‍ය රහිත; පිළිගත නොහැකි.

අප්‍රමාද

වි. පමා නැති; ප්‍රමාද රහිත.

අප්‍රමිත

වි. ප්‍රමාණ නොකළ; අප්‍රමාණ.

අප්‍රමේය

වි. ප්‍රමාණ කළ නොහැකි; මැනිය නොහැකි; අප්‍රමාණ.

අප්‍රයුක්ත

වි. නොයොදන ලද; භාවිත නොවූ; අභාවිත.

අප්‍රයෝගය

1. නා. නොයෙදීම; ව්‍යවහාර නොකිරීම.
2. නා. උපාය රහිතබව.

අප්‍රයෝගී

වි. නොයෙදෙන; ව්‍යවහාර නොවන; භාවිත නොවන.

අප්‍රලම්බ

1. වි. නොඑල්බෙන; එල්ලීමක් නැති.
2. වි. ප්‍රමාද රහිත; නොපමා; කඩිනම්; ඉක්මන්.

අප්‍රවර්ත

වි. ප්‍රවර්තනය නොවන; ක්‍රියා නොකරන; ක්‍රියාවිරහිත.

අප්‍රව්‍රජිත

වි. පැවිදි නොවූ; ගෘහස්ථ.

අප්‍රවෘත්තිය

නා. නොපැවැත්ම; ක්‍රියා විරහිත වීම; අභාවය.

අප්‍රසන්න

1. වි. නොපහන්;නොසතුටු; අප්‍රිය.
2. වි. නොපැහැදිලි; (ජලය) බොර වූ; මඩ වූ.

අප්‍රසාදය

නා. නොපහන්බව; නොසතුට; අප්‍රසන්නය.

අප්‍රසිද්ධ

වි. අප්‍රකට; ප්‍රසිද්ධ නැති.

අප්‍රසිද්ධිය

නා. අප්‍රකට භාවය; ප්‍රසිද්ධ නැතිබව.

අප්‍රහීණ

වි. පහ නොකළ; දුරු නොකළ.

අප්‍රාණක

වි. ආශ්වාස ප්‍රශ්වාස නොකරන; හුස්ම ගැනීමක් නැති.

අප්‍රාණික

වි. පණ නැති; ජීවයෙන් තොර; අචේතනික.

අප්‍රාණිවාචක

වි. පණ නැති වස්තුවක් ප්‍රකාශ කරන; අචේතනික දෙයක් අඟවන.

අප්‍රාප්ත

1. වි. නොපැමිණි; නොඑළඹුණු.
2. වි. නුසුදුසු; අනුචිත; අයුක්ත.

අප්‍රාමාණ්‍ය

1. වි. හේතු යුක්ති විරහිත; සාධන නැති.
2. වි. අප්‍රමාණ සත්ත්වයන් විෂය කොට පවත්නා.
නා.බහු. (අභි.) අප්‍රමාණ සත්වයන් විෂය කොට පවත්නා මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිතුවිලි සතර; බ්‍රහ්මවිහාර.

අප්‍රාර්ථිත

1. වි. බලාපොරොත්තු නොවූ; නොපැතූ.
2. වි. නොඉල්වන ලද.

අප්‍රිය

වි. අරුචි; අකැමැති.