සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1377

රෝපණ

1. වි. ශාක ප්‍රජනනය කරන ; පැළ කරන.
2. (පාරිභා.) (තුවාල වූ ස්ථානයක්) ප්‍රකෘතිමත් කරන ; මස් ලියලවන.

රෝපණ ගණ්ඩුෂය

නා. කසට, තිත්ත ඖෂධ ද්‍රව්‍යයෙන් මුඛය නොසෙලවිය හැකි තරමට පුරවා ගැනීම ; රෝපණ විදියෙන් කරන මුඛ ධෝවනය.

රෝපණ ද්‍රාවණය

(පාරිභා.) නා. බීජ අතු ආදිය පැළ කිරීම සඳහා හෝ ජීවාණු බෝකිරීම සඳහා හෝ සකස් කරනු ලබන ද්‍රව මිශ්‍රණය.

රෝපණ නළය

(පාරිභා.) නා. ප්‍රරෝහණය කිරීම සඳහා යොදාගන්නා නළය.

රෝපණ මාධ්‍යය

(පාරිභා.) නා. ජීවාණු අභිවර්ධනය කිරීම සඳහා මාධ්‍ය වශයෙන් යොදාගනු ලබන ද්‍රව්‍යය හෝ මිශ්‍රණය.

රෝපණය

1. නා. පැළ කිරීම ; ප්‍රරෝහණය.
2. ජනිත කිරීම ; හටගැන්වීම.

රෝපණීය

වි. රෝග සුව කරන සුලු ; පුනරුත්ථාපනයට පත්කරන ස්වභාව ඇති.

රෝපල් යත්ත

(පාරිභා.) නා. පළමු වතාවට ලී ගෑමේ දී භාවිත කරන තනි තලය යෙදූ යතු කැටය ; මාරම් යත්ත ; රෝපලය.

රෝම

1. වි. ලොම්වලින් තනන ලද ; ලෝමයෙන් නිමවන ලද.
2. රෝමවරුන්ට අයත් ; රෝමානුවන් පිළිබඳ ; රෝමන්.
1. නා.ප්‍ර. ක්ෂීරපායි සත්ත්වයන්ගේ සම මතුපිට දක්නට ඇති ලෝම.
2. (පාරිහා) ශාකජීවීන්ගේ කේශර ; කේශිකා.
3. ජලය ; පැන්.
4. ලවණ වර්ගයක්.

රෝම ඉලක්කම්

නා.ප්‍ර. රෝම ජාතිකයන් විසින් සංඛ්‍යා ලිවීම සඳහා ඔවුන්ගේ ම හෝඩියෙන් ගෙන භාවිත කළා වූ ද දැනුදු ඇතැම්විට භාවිත වන්නා වූ ද I,V,X,L,C.D සහ M යනාදී සංකේත.

රෝම කූපය

නා. සමෙහි ලොම් ගස් තිබෙන සිදුර.

රෝම පිටිකාව

(පාරිභා.) නා. රෝමයක පත්ලෙහි රෝමකූපයට කා වදින සේ කේතුවක ආකාරයෙන් පිහිටි රුධිරවාහිනී චර්මීය පටක එකතුව.

රෝම සභාව

නා. රෝමය ශුද්ධෝත්තම පාප්තුමාගේ නායකත්වයෙන් පවත්නා ක්‍රිස්තියානි නිකාය ; රෝමානු කතෝලික සභාව.

රෝම-ලන්දේසි නීතිය

නා. ඕලන්දයන් ලංකාවේ ස්ථාපිත කරන ලද නීති මාලාව ; රෝම ඕලන්ද නීතිය.

රෝමක

වි. රෝමයට අයත් ; රෝම නගරයට නොහොත් රෝම රාජ්‍යයට අයත්.

රෝමන්ථක

වි. වමාරා කන.

රෝමන්ථකයා

නා. වමාරා කන ගව, මුව වැනි සතා.

රෝමන්ථය

1. නා. වමාරා කෑම.
2. වමාරා කන ගවාදී සතුන්ගේ ආමාශයේ ප්‍රථම කොටස.

රෝමහර්ෂය

නා. කිසියම් චිත්ත වේගයක් නිසා ශරීරයේ ඇති වන ලොමුදැහැගැන්ම.

රෝමානු

1. වි. රෝම නගරයට අයත් ; රෝමයෙහි වූ.
2. රෝමානු කතෝලික නිකායට අයත් ; ඒ නිකාය පිළිබඳ.

රෝමානු කතෝලික

වි. රෝමානු කතෝලික නිකායට අයත්.

රෝමානු කතෝලිකයා

නා. රෝමානු කතෝලික ධර්මය පිළිගත් තැනැත්තා.

රෝමාවලිය

නා. ශරීරයේ නාභියට ඉහළින් ඇති ලොම් වැල.

රෝමෝද්ගත

වි. උඩට නැඟුණු ලොම් ඇති ; ලොමු දැහැගැන්වුණු.