සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1394

ලැජ්ජ බය

නා. ලජ්ජාව සහ බය ; ලැජ්ජා ස්වභාවය හා යම් වරදක් කිරීමේදී ඇතිවන බිය ස්වභාවය.

ලැටරයිට්

නා.ප්‍ර. රතු පැහැයට හුරු තද මැටි මිශ්‍ර පස් විශේෂයක් ; කබොක්.

ලැටිස්

නා.ප්‍ර. දොර ජනෙල් ආදිය සඳහා ලී පටිවලින් සකස් කළ අළුවා හැඩයේ පෙනීමක් ඇති ආවරණය ; අළුවා රාමුව ; ගරාදිය.

ලැද්ද

නා. මඳක් වැවුණු ගස් පඳුරු ඇති බිම් පෙදෙස ; කුඩා ගස්වලින් යුත් කැලෑව ; ලන්ද.

ලැද්දගහනවා

ක්‍රි. කැලේ කොටනවා ; වල් කොටා ශුද්ධ කරනවා.

ලැදි

1. වි. ආදරවත් ; හිතවත් ; රුචි කරන ; ආශා ඇති.
2. ලබ්ධියෙන් යුත් ; ශ්‍රද්ධා සම්පන්න ; භක්තිමත්.
3. ප්‍රමුදිත වූ ; සතුටු වූ ; සතුටට පත්.
නා.ප්‍ර. ස්ත්‍රිය ; කාන්තාව.

ලැදි සටන්

නා.ප්‍ර. ලබ්ධිය හෙවත් ආගමික විශ්වාස මුල්කොට ඇති වන ගැටුම්.

ලැන්ගයිට්

නා.ප්‍ර. මුද්‍රා වොෂර් සෑදීම සඳහා ගනු ලබන විශේෂ ද්‍රව්‍ය වර්ගයක්.

ලැන්ඩෝල්ට් ප්ලාස්කුව

නා. රසායනික ප්‍රතික්‍රියාවට ලක්වන මූල ද්‍රව්‍යයක් බහා තැබීමට උපයෝගී කරගනු ලබන ප්ලාස්කු විශේෂය.

ලැන්තනම්

(පාරිභා.) නා.ප්‍ර. ආවර්තිතා වගුවේ තුන්වැනි කාණ්ඩයේ තිබෙන විරල පාංශු කාණ්ඩයට අයත් ලෝහමය මූල ද්‍රව්‍යයක්.

ලැනොලින්

නා.ප්‍ර. ලෝමවලින් ලබාගන්නා වූ ද, කොලොස්ට්‍රෝල්වල පාමටේට් ඔලියේට් හා ස්ටියරේට් යන ඒවායේ මිශ්‍රණයක් වූ ද, මේදයක්.

ලැඳුම් පත්

නා.ප්‍ර. බැංකු ක්‍රමය ආරම්භයේ දීම බැංකුකරුවන් වූ රන්රිදීකරුවන් තමන් ළඟ තැන්පත් කළ ආභරණ තබාගෙන ඒ, වෙනුවට නිකුත් කළ පත්‍රිකාව ; මෙය මුදල් වශයෙන් භාවිත කළ හැකි පත්‍ර විශේෂයකි.

ලැප්ටොප්

නා. කුඩා ප්‍රමාණයේ පරිගණක යන්ත්‍ර විශේෂයක්.

ලැබ්බුම

නා. ඉලක්කය ; කුරුමානම.

ලැබීම

1. නා. විදේශවල පදිංචි ජනයා සිය රටට කරන ගෙවුම් විශේෂය.
2. සංසාරයේ දී රැස් කොට මේ ආත්මභාවය කරා ගෙනා වාසනාව හා අවාසනාව.
3. ලැබෙන දේ ; අය ; ආදායම.

ලැම්ප්‍රේයාවා

(පාරිභා.) නා. මුඛයෙන් ගල්වලට ඇලී සිටින සීක්ලොස්ටොමාටා ගණයක්.

ලැමාක්වාදය

නා. පරිණාමය තේරුම් කිරීම සඳහා ලැමාක් නම් විද්‍යාඥයා ඉදිරිපත් කළ මතය. ජීවියකු තම ජීවිත කාලය තුළ දී පරිචය කරගන්නා වූ අලුත් ලක්ෂණ ප්‍රවේණියට ගන්නේ යැයි කළ ප්‍රකාශය.

ලැමැණි

ලමැණි බ.

ලැමිනේරියන් කලාපය

නා. ලැමිනේරියන් මූදු ශාක ආවේණික ලක්ෂණ කොට ඇති කලාපය ; පාෂාණමය වෙරළවල පිහිටි ප්‍රධාන කලාප තුනෙන් එකක්.

ලැයිම

නා. එකට එක යාබද ව කම්කරුවන් සඳහා ඉදි කරන ලද කුඩා නිවාස පේළිය.

ලැයිසම

නා. යමක් පාවිච්චි කිරීම සඳහා ලබාගත යුතු බලපත්‍රය ; අවසරය.

ලැයිස්තුව

නා. යම් යම් දේවල් ලියා තබන ලද වට්ටෝරුව ; එකට සිටින පරිදි ගොනුකොට සකස් කරන ලද කරුණු මාලාව ; වට්ටෝරුවක් වශයෙන් පිළියෙල කොට ඇති ලේඛනය.

ලැරිංක්ස්

(පාරිභා.) නා.ප්‍ර. පෘෂ්ඨවංශීන්ගේ ශ්වාසනාලයේ උඩ කොටස ; ග්‍රසනිකාව හා සම්බන්ධ වන තැන තිබෙන විශාල වූ කොටස ; ස්වරනාලිකාව ; උගුර.

ලැල්

නා.ප්‍ර. එල්ලීම සඳහා මුතු ඇට කොඩි ආදිය පේළි වශයෙන් අමුණා සාදා ගන්නා වැල.

ලැව

නා. ගස්වැල් ආදියෙන් ගහණ වූ භූමිය ; කැලෑව ; ලන්ද.