සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1396

ලෑට්ට

1. නා. අත්ත ගසකට යා වන තැන ; දෙබළය.
2. ලෑටි ගෑමෙන් පසු ඉතුරු කොටස ; දත්වලින් කඩා කා ඉතුරු වූ කොටස.

ලෑටි

1. වි. හැකිළී ; වකුටු.
2. පිරි නැති ; පිම්බී නැති ; ඇකුළුණු.
3. කෙට්ටු ; කෙසඟ ; කේඩෑරි.
නා.ප්‍ර. මැලියම් වැනි ඇලෙන ද්‍රව්‍යයක් ; ලාටු.

ලෑටි ගානවා

ක්‍රි. ඉදිරි දත්වලින් උලා කනවා ; දතින් සූරා කනවා.

ලෑටියා

නා. ලාක්ෂා නිපදවන කෘමියා ; ලාකඩ කුරුමිණියා.

ලෑන

නා.ප්‍ර. කුරුල්ලන් ආදි පක්ෂීන් ඇල්ලීම සඳහා කොහොල්ලෑ ආදි මැලියම් ගෑ ලීයෙන් තැනූ උගුල ; ලෑව.

ලෑල්ල

ලැහැල්ල බ.

ලෑලි අඩිය

නා. දිගින් හා පළලින් අඩිය බැගින් වූ ලෑලි ප්‍රමාණය ; හතරැස් අඩියක ප්‍රමාණ වූ ලෑල්ල.

ලෑලි කයිරුව

(පාරිභා.) නා. ලීයෙන් කළ ආධාරකය ; ලෑල්ලෙන් කළ මුක්කුව ; බිම නොවැටෙන සේ වැල් ආදි යමකට ආධාරකය පිණිස සිටුවන ලීය.

ලෑලි ගල

නා. ලෑල්ලක් මෙන් ------- පැතැලි වූ ගල.

ලෑලි දොර

නා. ලෑලි පුවරු කිහිපයකින් වසන දොර ; ලෑලි තීරු කිහිපයකින් වෙන වෙනම පලුවෙන් පලුව එක්කොට වසන සේ තනන දොර.

ලෑලි පාලම

නා. ප්‍රධාන වශයෙන් ලෑලි යොදා සාදා ඇති පාලම; ලී තහඩු දමා තැනූ පාලම ; ලී පාලම.

ලෑලි පොළොව

1. නා. පොලිෂ් අල්ලා ඔප කරන ලද විශේෂ ලී කැබලි වර්ගයක් යම්කිසි මෝස්තරයක් අනුව අල්ලා සකස් කරන ලද ගෙබිම.

ලෑලි හුළ

නා. ඉතා සිහින් ලී තීරු එකට එකතු කර බඳින හුළු අත්ත.

ලි

1. නා.ප්‍ර. ලිය ; කාන්තාව ; ස්ත්‍රිය.
2. වෙහෙස ; විඩාව ; කෙඩෙත්තුව.
3. මිනුම් ප්‍රමාණයක්.

ලිංග ග්‍රන්ථිය

(පාරිභා.) නා. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ජනක සෛල උපදවන ඉන්ද්‍රියය ; පුරුෂයාගේ වෘෂණය හෝ ස්ත්‍රියගේ ඩිම්බකෝෂය ; ගොනැඩය.

ලිංග පොරොන්දම

නා. (ජ්‍යෝති.) විවාහයට පත්වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංග නැකැත් අනුව කරනු ලබන ගැළපීම ; මෙය විසි පොරොන්දම් වලින් එකකි.

ලිංග විද්‍යාව

නා. ස්ත්‍රී පුරුෂ සම්භෝගය සම්බන්ධ ලිංගික ක්‍රියාවලිය හා ඊට අදාළ කරුණු උගන්වන විද්‍යාව ; ලිංග හා ලිංගික ක්‍රියා පිළිබඳව උගන්වන ශාස්ත්‍රය.

ලිංග විපර්යාසය

නා. ස්ත්‍රියක පුරුෂයකු බවට හෝ පුරුෂයකු ස්ත්‍රියක බවට හෝ පත්වීම ; ලිඟු පෙරළිය.

ලිංග සෛල

නා.ප්‍ර. ලිංගික ප්‍රජනනයට හේතුවන සෛල.

ලිංගත්ථේනක

වි. නිසි පරිදි සුදුසුකම් ලැබූ උපාධ්‍යාය කෙනකු නැතිව තමාම පැවිද්ද ලබාගත් ; ශ්‍රමණ වේශය සොරාගත්.

ලිංගත්ථේනකයා

නා. තමාම පැවිද්ද ලබාගත් පුද්ගලයා ; ශ්‍රමණ වේශය සොරාගත් තැනැත්තා.

ලිංගධරය

නා. මලක අධර දලය ඉදිරිපිටින් පිහිටි ජායාංගය හා පුමංගය දෙකම දරන්නා වූ කොටස.

ලිංගන්

නා.ප්‍ර. චූර්ණ කොට සායම් වශයෙන් භාවිත කරනු ලබන රත් පැහැති ඛනිජ විශේෂයක්.

ලිංගවර්ණ දේහය

නා. ලිංගිකත්වය තීරණය කරන වර්ණ දේහය ; උපදිනු ලබන්නේ පුරුෂයෙක් ද ස්ත්‍රියක් ද යන්න සංසේචනයේ දී තීරණය කරන වර්ණදේහය.