සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1422

ලෝක විවරණ ප්‍රාතිහාර්යය

නා. (සෘද්ධි බලයෙන්) සිය දහස් ගණන් ලෝක එක් තැනක සිට පෙනෙන්නට සැලැස්වීමේ ප්‍රාතිහාර්යය.

ලෝක විශ්‍රැත

වි. ලෝක ප්‍රසිද්ධ ; ලොවෙහි සුපතළ.

ලෝක විශ්‍රැතිය

නා. ලෝක ප්‍රසිද්ධ කීර්තිය.

ලෝක විෂය

නා.ප්‍ර. සත්ව ලෝකය පිළිබඳ දැනුම ; දිව්‍ය මනුෂ්‍ය ආදී ලෝක හා සම්බන්ධ විස්තර විභාග දැනගැනීම ; ඉන්ද්‍රිය මාර්ගයෙන් ලැබෙන ලෝක පිළිබඳ දැනුම.

ලෝක විෂයාතික්‍රාන්ත

[ලෝක + විෂය + අතික්‍රාන්ත]
වි. ලෝකය පිළිබඳ විෂය ඉක්ම වූ ; ලෝකය ගැන ඇති දැනුම ඉක්ම වූ.

ලෝක වෙළඳපොළ

නා. ඉල්ලුම හා සැපයුම අනුව ලෝකයේ සෑම රටක ම භාණ්ඩවල මිළ තත්ත්වය.

ලෝක ශාන්තිය

නා. ලොවට සිදුවන සෙත ; යහපත ; ලොව සැනසීම.

ලෝක ශාසනය

නා. ලොව හා සසුන ; ලෝකය හා බුද්ධ ශාසනය.

ලෝක සංහාරය

නා. ලොව වනසාලීම ; ලෝකය සහමුලින් නැසී යෑම ; ලෝක විනාශය.

ලෝක සන්ධාරක

වි. ලොව දරා සිටින ; පෘථිවිය උසුලා සිටින.

ලෝක සම්මතය

නා. ලෝකයා විසින් සම්මත කරගන්නා ලද්ද ; ලෝවැස්සන් විසින් පිළිගත් දෙය.

ලෝක සමුදය

1. නා. ලොව හටගැනීමට හේතුව.
2. ලොවෙහි උත්පත්තියට හේතු වන සේ බුදු දහමෙහි දැක්වෙන තෘෂ්ණාව.

ලෝක ස්වභාවය

1. නා. ලෝකයේ සැබෑ තත්ත්වය ; ස්වභාව ධර්මයට අනුව කරුණු සිදුවන අයුරු.
2. ලෝක සත්ත්වයාගේ යථා ස්වරූපය.

ලෝක සිද්ධි

නා.ප්‍ර. ලෝකයාගේ පිළිගැනීම අනුව කරුණක් ඔප්පු කිරීම.

ලෝක සීමාව

නා. සත්‍ය ලෝකය පිළිබඳ ස්වභාවික තත්ත්වය ; ලෝකයෙහි සම්මතව පවත්නා දෙය.

ලෝකගුරු

නා.ප්‍ර. ලෝකයට ආචාර්ය වූ තැනැත්තා ; බුදුරජාණන් වහන්සේ.

ලෝකඩ

නා.ප්‍ර. තඹ හා බෙලෙක් මිශ්‍ර කොට සාදනු ලබන කවලම් ලෝහය.

ලෝකඩ සමය

නා.ප්‍ර. මානව ශිෂ්ටාචාර ඉතිහාසයේ මිනිසා සවන ලෝකඩ භාවිතයට පුරුදු වූ කාලපරිච්ඡේදය ; පාෂාණ යුගයෙන් පසුව පැවති යුගය.

ලෝකත්ථචරියා

නා.ප්‍ර. සියලු ලෝවැසියන්ගේ හිතසුව සඳහා හැසිරීම ; ලෝකවාසී ජනයාගේ යහපත උදෙසා සිය ජීවිතය යෙදීම.

ලෝකත්ථූපිකාව

නා. විශ්වයේ උපරිම මුදුන හෝ කොත ; නේවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්මලෝකය.

ලෝකත්‍රය

1. නා.ප්‍ර. සත්ත්වයන් උපදින කාම, රූප, අරූප යන වාසභූමි.
2. ස්වර්ග, මර්ත්‍ය, පාතාල යන ත්‍රිවිධ ලෝකය.

ලෝකනාථ

නා.ප්‍ර. ලෝකයාට පිහිට වන බුදුරජාණන් වහන්සේ.

ලෝකපාල

වි. ලෝකය පාලනය කරන ; ලොව ආරක්ෂා කරන.

ලෝකපාලක

නා.ප්‍ර. ලෝවැසි ජනතාව පාලනය කරන්නා ; ලෝකය රකින තැනැත්තා.