සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1498

වාසන

වි. සුවඳ කරන ලද ; සුවඳින් යුත්.

වාසනය

නා. වාසය කරන ස්ථානය ; වසන තැන.

වාසනාව

1. නා. සම්පත් ලැබීමට ඇති හේතුවන්ත භාවය.
2. පෙර කළ පිනින් ඇති වන භාග්‍යය.

වාසනාවන්ත

වි. පින් ඇති ; භාග්‍යසම්පන්න ; වාසනාවෙන් යුක්ත.

වාසභූමිය

නා. වාසය කරන ස්ථානය ; පදිංචි ස්ථානය ; වාසස්ථානය.

වාසල

1. නා.ප්‍ර. වාසල් රජමැදුර ; රාජමාලිගාව.
2. ප්‍රභූවරයකුගේ මන්දිරය.
3. නගරයකට දේව, ප්‍රභූ ආදි මන්දිරයකට පිවිසීමට ඇති දොරටුව ; දොර වාහල ; වාසල්කඩ.

වාසල්දොර

නා.ප්‍ර. නගරයක දොරටුව ; දොර ; ද්වාරය ; ගේට්ටුව.

වාසව

නා.ප්‍ර. ශක්‍ර දෙවියා ; සක්දෙව් ; පුරඳර.

වාසස්ථානය

නා. ජීවත්ව සිටිනා ස්ථානය ; පදිංචිව සිටින්නා ගෙය ; වෙසෙන නිවස.

වාසස්ථාපකයා

නා. ජීවත්වන පුද්ගලයා ; පදිංචි වූ පුද්ගලයා

වාස්කේට්ටුව

නා. බාහිර කබායට වැසෙන සේ දසරුවේ සිට ඉණ දක්වා තදට අඳින අත් නැති කෙටි කබායක්.

වාස්තව

වි. වස්තුව හෙවත් විෂය පිළිබඳ වූ.

වාස්තු

නා.ප්‍ර. වාසය කරන ස්ථානය ; ගෙපළ ; වත්ත ; වාසයට යෝග්‍ය ගෘහ, ග්‍රාම, නගර ආදි ස්ථාන.

වාස්තුපුරුෂයා

නා. ගෘහ නිර්මාණයේ යෙදෙන තැනැත්තා ; ගොඩනැගිලි සාදන්නා.

වාස්තුවිද්‍යාව

නා. ගෙවල් සෑදීම පිළිබඳ ශාස්ත්‍රය ; ගෘහ නිර්මාණ ශිල්පය.

වාසාගාරය

නා. වාසය කරන ගෙය ; ලැගුම් ගෙය.

වාසි ප්‍රමාණය

1. නා. ලාභ ප්‍රමාණය.
2. ඕනෑම ක්‍රමයකට ලැබෙන ලාභ, ප්‍රයෝජනයේ නියමිත තත්ත්වය.

වාසින්‍යාය

(පාරිභා.) නා.ප්‍ර. වාසිය පිළිබඳ නීතිය ; ලාභ ප්‍රයෝජන සම්බන්ධ නියම වූ පිළිවෙළ.

වාසිය

1. නා. ප්‍රයෝජනය ; ලාභය.
2. (පාරිභා.) අවකාශය ; වැඩි ඉඩකඩ.
3. දැව සැකසීමට ගැනෙන වෑය.
4. වහසිය ; අහංකාර බස ; වහසි බස.

වාසී

වි. වාසය කරන ; පදිංචි.

වාසුකී

1. නා.ප්‍ර. නාග රාජයකුගේ නාමය ; නාග කුලයක නාමය ; හින්දු සංකල්පයට අනුව, අට දිශාවකින් පෘථිවිය උසුලතැයි සලකන නාගයන් අටදෙනාගෙන් එක් අයෙක්.
2. බුදුන්ගේ සිරිපතුලේ ඇති මංගල ලකුණු 108 න් එකක්.

වාසුදේව

නා.ප්‍ර. විෂ්ණු දෙවියන්ගේ අවතාරය.

වාසුපගත

[වාස + උපගත]
වි. විසීමට පැමිණි ; පදිංචියට පැමිණි.

වාසුළිය

නා. තද වර්ෂාව හා කුණාටුව ; වැසි සහිත විශාල සුළං හැමීම.