සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1531

විපථය

නා. අයහපත් මග ; වැරැදි මාර්ගය.

විපන්න

වි. විපතට පත් ; විනාශයට පැමිණි.

විපරම

නා. සෝදිසිය ; පරීක්ෂාව ; සැලකිල්ලෙන් සිටීම.

විපරම් පත්‍රය

නා. සිංහල රජුන් දවස නිලධාරීන් පිළිබඳ තොරතුරු ඉල්ලා යවන ලියවිලි විශේෂයක්.

විපර්යය

නා.ප්‍ර. වෙනස්වීම ; විපර්යාසය.

විපර්යාසය

1. නා. වෙනස්වීම ; විරුද්ධ පැත්තට පරිවර්තනය වීම.
2. වැරදි ලෙස ගැනීම ; අනිත්‍ය දෙය නිත්‍ය යැයි සැලකීම.

විපරිණාම දුඃඛය

නා.ප්‍ර. යථා ස්වභාවය වෙනස්වීමෙන් ඇති වන දුක.

විපරිණාමය

නා. පෙරළීම ; වෙනස් වීම.

විපරිවර්තනය

නා. වෙනස් තත්ත්වයකට පත් වීම ; පරිවර්තනය ; විපර්යාසය.

විපරීත

වි. විරුද්ධ ; වෙනස්.

විපරීත ග්‍රහණය

නා. යථා තත්ත්වයට විරුද්ධව පවතින අදහස් පිළිගැනීම.

විපරීත දර්ශනය

නා. වෙනස් ආකාරයට දැකීම ; වැරැදි දැක්ම.

විපරීත සංඥාව

නා. වෙනස් ආකාරයට හඳුනාගැන්ම ; අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් හෝ අයහපත් දෙය යහපත් වශයෙන් හෝ හඳුනාගැනීම.

විපස්සනා

නා.ප්‍ර. සාමාන්‍ය දර්ශනයෙන් වෙනස් වූ විශේෂ දර්ශනය ; ලෝකය අනිත්‍යය, දුඃඛය, අනාත්මය යනුවෙන් දැකීම ; විදර්ශනාව.

විපස්සනා භාවනාව

නා. විදර්ශනා ඥානය ලබා ගැනීම සඳහා කරන භාවනාව.

විපස්සනාධුර

නා.ප්‍ර. පංචස්කන්ධය අනිත්‍යාදි ලක්ෂණ වශයෙන් මෙනෙහි කිරීමේ ධුරය ; විදර්ශනාධුරය ; විදර්ශනාවෙහි යෙදීම පිළිබඳ වගකීමෙන් යුක්ත කාර්යභාරය.

විප්

නා.ප්‍ර. බ්‍රාහ්මණයා ; බමුණා.

විප්ප

නා.ප්‍ර. රෝග විශේෂයක් ; රුධිරය හිඟවීම නිසා සෑදෙන රෝගයක් ; පාණ්ඩුව.

විප්පකත

වි. අසම්පූර්ණ වූ ; අඩාල වූ ; අතරමග නැවැත්වූ.

විප්පටිසාර

නා.ප්‍ර. විපිළිසරය ; පසුතැවිල්ල ; පශ්චාත්තාපය.

විප්පයුත්ත

වි. වෙන් වූ ; එකට නොයෙදුණා වූ.

විප්පවාසය

නා. වෙන්ව විසීම ; හුදෙකලාව විසීම ; තනිව වාසය කිරීම.

විප්ලවකාරී

වි. පෙරළිකාරී.

විප්ලවය

1. නා. යම් කරුණක් පිළිබඳව හදිසියේ ඇති වන මානසික පෙරැළිය.
2. පාලන තන්ත්‍රය, රජය ආදිය බලහත්කාරයෙන් පෙරළීම සඳහා කරන අරගලය.
3. නොයෙක් අතට පාවීම.
4. විරෝධය ; විරුද්ධත්වය.
5. විනාශය ; හානිය ; උපද්‍රවය.
6. අවුල.
7.තක්කඩිකම.
8. නීති උල්ලංඝනය.