සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1545

විලම්බ

වි. ප්‍රමාද ; ශීඝ්‍ර නොවූ.

විලම්බ පරිණත

නා.ප්‍ර. භූරූපණ චක්‍රයෙහි අවස්ථාවලින් එකක්.

විලම්බමාන

වි. එල්ලෙන්නා වූ ; එල්ලී ඇති.

විලම්බය

1. නා. ප්‍රමාදය ; ප්‍රමාද වී සිදුවන දෙය.
2. නැටුම්, ගැයුම් වැයුම්වල අඩුවේගය.

විලම්බිත

1. වි. කල්දැමූ ; අතපසු කළ.
2. ඉක්මන් නැති ; ප්‍රමාදව සිදුවන ; අලස.

විලම්බිත කොටස්

නා.ප්‍ර. ලාභාංශ ගෙවීමේ දී වෙනත් සියලු කොටස්වලට නිශ්චිත ලාභාංශ ගෙවීමෙන් පසු එසේ ලැබීමට හිමිකම් ඇති ව්‍යාපාර කොටස් වර්ගයක්.

විලයනය

නා. ඝන ද්‍රව්‍යයක් රත් කොට ද්‍රව බවට පත් කිරීම.

විලල්

වි. කැබලි වූ ; කුඩු වූ.

විලවුන්

නා.ප්‍ර. ශරීරයෙහි ගල්වන සුවඳ ද්‍රව්‍ය.

විලස

1. නා. විලාසය ; ආකාරය ; ස්වභාවය.
2. මුළාව ; වික්‍රමය.

විලසි

1. නා.ප්‍ර. විලාසිනිය ; ලක්ෂණ ස්ත්‍රිය.
2. ශෘංගාරය.

විලසිත

වි. බැබළුණා වූ ; අලංකාර වූ.
නා.ප්‍ර. බැබළීම ; කාන්තිය.

විල් ලිහිණියා

නා. විල් ඇසුරෙහි වෙසෙන පක්ෂි වර්ගයක්.

විල්කොරහ

නා.ප්‍ර. දරුවන් නෑවීම, වී දැමීම ආදියට ගන්නා මැටි භාජනයක්.

විල්ගම් වෙහෙර

නා.ප්‍ර. විහාරයක නම ; සේරුවාවිල.

විල්ගම්මුල

නා. පුරාණ ලංකාවේ විහාර ඇසුරු කොට පැවති ආයතන අටෙන් එකක් ; මෙය පොළොන්නරු ජේතවන විහාරයෙහි වූ බව සඳහන් වේ.
2. ඒ ඒ කාලවල විල්ගම්මුල ආයතනයේ වැඩ සිටි ප්‍රධාන භික්ෂූන් වහන්සේ.

විල්බඩ

නා.ප්‍ර. විල අසල ; විල සමීපය.

විල්බා ජනපදය

නා. විජය රජු නිසා කුවේණියට උපන් වීරබාහු කුමාරයා සිටි ජනපදය.

විල්මොනරා

නා. මොනර විශේෂයක්.

විල්ල

නා.ප්‍ර. විවිධ ආයුධවල මිටට සවිකරන කවාකාර ලෝහමය උපකරණයක් ; විශේෂයෙන් මෙය ආයුධයේ මිට පැළීම වලක්වාලීම සඳහා යොදා ගනු ලබන්නකි.

විල්ලෑව

නා. ඕවිට ; කොරටුව.

විල්ලියා

නා. රොඩී කුලයේ තැනැත්තා ; හුලවාලියා.

විල්ලුද

නා.ප්‍ර. ඉතා සිනිඳු බූවක් ඇති වන ලෙස සෑදූ අගනා රෙදි වර්ගයක්.

විල්ලුව

නා. ජලාශ ක්‍රමයෙන් ගොඩවීමෙන් සෑදෙන වගුරු බිම්.