සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 295

උඩත්පිරිසෙයින්

ක්‍රි.වි. ඉහළ සීමාවෙන් හෝ මට්ටමෙන්; උපරිම වශයෙන්.

උඩත්මිල සීමාව

(පාරිභා.) නා. බඩුවකට අය කළ හැකි උපරිම මිල මට්ටම (=ceiling price).

උඩදණ්ඩිය

(කථා.) නා. වල් අලියකු එන බව දැන ගැනීමට පාරේ හරහට බඳින ලීය.

උඩප්පරය

නා. ආඩම්බරය; උඩඟුකම; මානය.

උඩබුමු

නා.ප්‍ර. ප්‍රාසාදයක උඩු මහල; උඩ තට්ටුව.

උඩමළුව

1. නා. ස්තූපයක් වටා ඉහළ මට්ටමේ පිහිටි මළුව හෙවත් මාලකය.
2. නා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි මළුව.

උඩම්බේරු

(කථා.) වි. ආඩම්බර; උඩඟු.

උඩමාලය

1. නා. උඩු මහල් තලය; ගෙයක උඩතට්ටුව.
2. නා. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළඳා මාලිගාවේ උඩුමහල් තලය හෙවත් උඩ තටුට්ව.

උඩය

1. නා. උඩරට රජදරුවන් හා ප්‍රධානයන් සඳහා මසන ලද වළලුකර ළඟ රැළිවලින් යුක්ත කලිසම් විශේෂයක්.
2. නා. අසුන් පිට යාම සඳහා අඳින දණ ළඟින් කෙළවර වන කලිසම.

උඩරට ගිවිසුම

නා. ක්‍රි. ව. 1815 දී උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන් යටතට පත් වන අවස්ථාවේ දී ඉංග්‍රීසීන් හා උඩරට සිංහලයන් අතර ඇති කර ගත් ගිවිසුම.

උඩරට නීතිය

නා. ක්‍රි. ව. 1815 දක්වා උඩරට රාජධානියෙහි ක්‍රියාත්මක කළ සිංහල නීති ක්‍රමය.

උඩරට රාජ්‍යය

නා. 1 වන විමලධර්මසූරිය රජුගෙන් ආරම්භව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන සමය දක්වා පැවැති සිංහලේ අන්තිම රාජ්‍යය.

උඩස

නා. උඩපැත්ත; මුදුන; මස්තකය.

උඩස් වෙනවා

1. (කථා.) ක්‍රි. උඩට වෙනවා; උස් වෙනවා.
2. ක්‍රි. තරහ වෙනවා.

උඩහල්ල

නා. ලණුවලින් හෝ පන්වලින් හෝ වේවැල්වලින් හෝ ගොතා සාදාගත් හැළි වළන් ආදි යම් යම් දේ තැබීම පිණිස සාමාන්‍යයෙන් කුස්සියේ එල්ලනු ලබන උරය හෙවත් පැස.

උඩහලුව

(පාරිභා.) නා. ආධාරකය; කලම්පය(=stirrup).

උඩළ

1. (කථා.) නා. කුඹුරක හෝ ලියැද්දක උඩු පැත්තෙහි ඇති ප්‍රධාන ඇළ.
2. නා. කුඹුරක හෝ ලියැද්දක ඉහළ කොටස හෙවත් උඩු පැත්ත.

උඩළිපත

[උඩ + එළිපත]
නා. උළුවස්සේ උඩ පත්ත; උඩ පඩිය.

උඩැක්කිය

නා. උඩරට නැටුම්වල හා දේව යාගවලදී වාදනය කරන්නා වූ මැද භාගය සිහින් වූ කුඩා බෙර විශේෂයක්.

උඩැඟ

නා. ශරීරයේ ඉහළ කොටස.

උඩැසි

නා.ප්‍ර. උඩු පැත්ත; ඉහළ පැත්ත.

උඩිකිත්තන්

(කථා.) නා.ප්‍ර. එකකු තව එකකුගේ ඉසට උඩින් පැනීමේ ක්‍රීඩාව.

උඩිච්චි කරනවා

ක්‍රි. යම් දෙයක් නියම ප්‍රමාණයට වඩා කුඩා කරනවා.

උඩිච්චිය

1. (කථා.) නා. උඩැක්කිය.
2. නා. කුඩා හට්ටිය; කුඩා භාජනය.