සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 404

කථාරම්භය

නා. නිබන්ධයක පටන් ගැනීම; ප්‍රස්තාවනාව.

කථාලීලාව

නා. කථා කරන ආකාරය; කථා විලාසය.

කථාව

1. නා. අදහස් කට වචනයෙන් ප්‍රකාශ කිරීම; කියමන; පැවසීම; කථනය.
2. නා. ප්‍රබන්ධ කථාව; කථාන්තරය; කථා පුවත.
3. නා. කිහිපදෙනෙකු අතර කෙරෙන අදහස් හුවමාරුව; සාකච්ඡාව; සල්ලාපය.
3. නා. සමූහයක් අමතා කරන අදහස් ප්‍රකාශය; දේශනය.
5. නා. යම් පුද්ගලයකු හෝ පිළිබඳව පැතිරෙන ආරංචිය; කටකථාව.

කථික

වි. කථා පවත්වන; දේශනා කරන; කථාවෙහි දක්ෂ.

කථිකශේරුකා

නා.ප්‍ර. කොඳු ඇට පෙළේ කටී පෙදෙසට අයත් ඇට පහ.

කථිකාචාර්යයා

නා. දේශන මඟින් උගන්වන ගුරුවරයා; උසස් අධ්‍යාපන ආයතනයක ආචාර්යවරයා.

කථිත

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද; පැවසූ.

කථෝපකථනය

නා. සාකච්ඡාව; දෙබස; සංවාදය.

කද

1. නා. එක් කොනක හෝ දෙකොන්හි හෝ බර එල්ලා කර තබාගෙන යන ලීය.
2. නා. එසේ ගෙන යන බර; කත්බර.
3. නා. කරේ හෝ අතේ හෝ එල්ලා ගෙන යන කුඩා බඩුපොදිය.
4. නා. රාජරාජ මහාමාත්‍යාදින් හෝ නෑ හිතවතුන් හෝ හමුවීමට යන විට ගෙන යන තුටු පඬුරු; තෑගිබෝග.
5. නා. මධ්‍යම යුගයේ ලංකාවේ පැවති බද්දක්.
6. නා. වලාකුළ.
7. නා. ගර්භය.
8. නා. මඩ; කෙලෙස්.
1. වි. කොර; වක් වූ.
2. වි. ජලයෙන් තෙත් වූ.

කද පිහිනවා

ක්‍රි. ගොයම් කරල්වලින් බොල් ඈත් කොට වී එක් රැස් කරනවා.

කද මල

නා. වල් සතුන් ඇල්ලීමට අටවන මල පුඩුව.

කදමල්ල

නා. (කදකින් ගෙන යෑමට තරම් විශාල වූ තෑග්ගක් යනුවෙන් වාච්‍යාර්ථයි) තෑගිබෝග රාශිය.

කදම්බ

1. නා.ප්‍ර. මල්වතු ඔයෙහි පුරාණ නාමය.
2. නා.ප්‍ර. සමූහය; රාශිය; කළඹ.
3. නා.ප්‍ර. ජලචර පක්ෂියෙක්.

කදඹ

1. නා. සමූහය.
2. නා. මඩ.

කදරිය

නා. මසුරුකම; ලෝභකම.

කදල්ල

1. නා. පක්ෂීන් හෝ අන් සතුන් බිත්තර දැමීමට හෝ වාසය පිණිස සාදා ගන්නා කූඩුව; කුරුළු කූඩුව.
2. නා. වාසස්ථානය; නිවස.

කදලි

1. නා.ප්‍ර. කෙසෙල් (ගස සහ ගෙඩියේ නම).
2. නා.ප්‍ර. කොඩිය; ධජය.
3. නා.ප්‍ර. මුව විශේෂයක්; කදලි මුවා.

කදහස

ක්‍රි.වි. කිසි දිනක; කිසි කලෙක; කවදා වත්.

කදාමැටි

නා.ප්‍ර. කදා වළලු ආදිය සෑදීමට ගන්නා මැටි විශේෂයක්.

කදාමිණි

නා.ප්‍ර. වීදුරු; පළිඟු.

කදාර්

නා. අත් යන්ත්‍රයෙන් වියන ලද රළු ඉන්දියානු රෙදි.

කදාව

1. නා. ඇස් කණ්ණාඩි, අන්වීක්ෂ ආදියට යොදන වීදුරු කාචය.
2. නා. වීදුරු.
3. නා. පළිඟු කාචය.
4. නා. මැටි විශේෂයක්.

කදිම

1. වි. හොඳ; යහපත්; මනා; අගනා.
2. වි. අපූරු; අරුම පුදුම.

කදිරදේව

නා.ප්‍ර. කතරගම දෙවියා.