සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 408

කන්මුල

1. නා. කනෙහි මුල; කන සමීපය.
2. නා. කම්මුල ප්‍රදේශය; කපෝලය.

කන්රොඹු

නා.ප්‍ර. කනෙහි ඇති ලොම්; කර්ණ රෝම.

කන්වයින

නා. හිස තබන කොට්ටය; බිම්බෝහනය.

කන්වායා

නා. කන තුළට වැදී රෝග ඇති කරන බවට විශ්වාස කෙරෙන ශතපදි ගණයට අයත් කුඩා සත්ත්ව විශේෂය.

කන්වැල

1. නා. එල්ලෙන කන්පෙත්ත: බර වූ කුණ්ඩලාභරණ පැලඳීමෙන් කන් සිදුර විශාල වී එල්ලෙන කන්පෙත්ත.
2. නා. කර්ණාභරණ විශේෂයක්.
3. නා. ගොක්කොළවලින් මුදු සාදා දම්වැලක් මෙන් එක් කොට කරන සැරසිල්ල.
4. නා. වියන ලද පෙට්ටියක කට වටේ යොදන වැල.
5. නා. මාළුවකුගේ බඩවත පැත්තෙන් කැපූ පෙත්ත.

කන්විත

1. නා. ඇතුන් ලවා ලී කොටන් ඇද්දවීම සඳහා දම්වැල යෙදීමට ලී කොටන් කෙළවර විදින සිදුර.
2. නා. ඔරු කොල්ලෑවේ විදින සිදුර.

කන්සය

නා. කන සමීපය; කම්මුල.

කන්සරි

වි. සමාන උසැති; එක ම තත්ත්වයෙන් යුත්; සමාන.

කන්සරිය

නා. ඇසෙන දුර ප්‍රමාණය; සමීප බව.

කන්සවරිය

නා. ඇතුන්ගේ කන්හි බඳින අලංකාරයක්; කර්ණචාමරය.

කන්සිදුර

නා. කනට හඬ ගෙන යන සිදුර; කර්ණඡිද්‍රය.

කන්සිළ

නා. කන්පෙත්තේ උඩ කොටස; කර්ණ ශිඛාව.

කන්හැන්ද

නා. කනෙහි කලාඳුරු ශුද්ධ කිරීමට පාවිච්චි කරන ලෝහමය කුඩා හැන්ද.

කන්‍යා

1. නා.ප්‍ර. වැඩිවියට නොපැමිණි දැරිය.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. රාශි චක්‍රයේ හය වැනි රාශිය.
3. නා.ප්‍ර. කෝමාරිකා.

කන්‍යා සහෝදරිය

නා. ක්‍රිස්තියානි ආගමට කැප වී කන්‍යාරාමයක වෙසෙන අවිවාහක කාන්තාව.

කන්‍යාරාමය

[කන්‍යා + ආරාමය]
නා.ප්‍ර. ක්‍රිස්තු ධර්මයට කැප වූ කන්‍යා සහෝදරියන් වාසය කරන ආශ්‍රමය; කන්‍යාමඩම.

කනා

නා.ප්‍ර. රත්රන්; කනක.
වි. රනින් කළ; ස්වර්ණමය.

කනාපෙද

නා. රත්රන් තෝඩුව; ස්වර්ණමය කර්ණාභරණය.

කනාමෙර

නා. රන්මුවා පර්වතය; කනක මේරුව.

කනිච්චිය

(කථා.) නා. තෙල් ආදිය වැක්කිරීමට භාවිත කරන කෙමියක් සහිත කුඩා භාජන විශේෂයක්.

කනිටු

1. වි. වයසින් අඩු; ළාබාල; පවුලක දරුවන් අතරෙහි අඩු ම වයස් ඇති.
2. වි. තත්වයෙන් හෝ සේවයෙන් හෝ සේවා කාලයෙන් අඩු; සුළු.

කනින්-කොනින්

(කථා.) ක්‍රි.වි. එතැනින් මෙතැනින්; එහෙන් මෙහෙන්.

කනීනිකාව

නා. ඇසේ තාරා මණ්ඩලය මැද ඇති කවාකාර විවරය; කළු ඉංගිරියාව.

කනීල්

1. නා.ප්‍ර. රනින් කළ දෝලාව.
2. නා.ප්‍ර. රන් උංචිල්ලාව.
3. නා.ප්‍ර. සිංහල සිවුපද විරිතක නාමය.