සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 414

කමල

1. නා.ප්‍ර. නෙළුම් මල; පියුම; පද්මය.
2. නා.ප්‍ර. ජලය.
3. නා.ප්‍ර. ශ්‍රියාකාන්තාව.

කමලකර

1. නා.ප්‍ර. සූර්යයා.
2. නා.ප්‍ර. නෙළුම් විල; පියුම් පොකුණ; පියුම් විල.

කමලඟන

[කමල + අඟන]
නා. විෂ්ණු දෙවිඳුගේ භාර්යාව වූ ශ්‍රී කාන්තාව.

කමල්

1. නා.ප්‍ර. නෙළුම.
2. නා.ප්‍ර. ජලය; දිය.
3. නා.ප්‍ර. බත්.
4. නා.ප්‍ර. ඉතා කුඩා සහල් ඇට කැබලි; සුන්සහල්.

කමල්වත්

නා.ප්‍ර. නෙළුම් රේණු.

කමලාසන

[කමල + ආසන]
නා. මහා බ්‍රහ්මයා.

කමසර

වි. කැමති පරිදි හැසිරෙන; කාමචාරී.
නා.ප්‍ර. කැමැත්ත; අභිලාෂය; අභිප්‍රාය.

කමසර දෙවිඳු

නා.ප්‍ර. අනංගයා.

කමසේ

නා.ප්‍ර. නැවතීම; විරාමය; අවකාශය.

කමසේව

ක්‍රි.වි. (ක්‍රියාවෙහි දක්ෂ වූ යනු වාච්‍යාර්ථයි) දක්ෂ ලෙස; සරිලන සේ; ක්‍රම වූ පරිදි.

කම්

1. නා.ප්‍ර. කර්ම; කුශලාකුශල කර්ම.
2. නා.ප්‍ර. කාමය; ආශාව.
3. නා.ප්‍ර. කාමභවය; කාම ලෝකය.
4. නා.ප්‍ර. කාමිනිය; යුවතිය; කාන්තාව.
5. නා.ප්‍ර. බදු; අයබදු.
6. නා.ප්‍ර. රති ක්‍රීඩාව; මෛථුන සංසර්ග.
7. නා.ප්‍ර. අනංගයා.

කම්කටුල්ල

1. නා. දුක; හිරිහැරය; පීඩාව.
2. නා. දඬුවම් වශයෙන් කරන වධ හිංසාව.

කම්කරුවා

නා. දක්ෂතාව හෝ පුහුණුවට වඩා ශරීර ශක්තිය අවශ්‍ය කාර්යවල යෙදී සිටින්නා; බර වැඩ කරන්නා; ශ්‍රමිකයා.

කම්කිළිය

නා. දාසිය; මෙහෙකරු ස්ත්‍රිය.

කම්පකය

(පාරිභා.) නා. කම්පනය වන හෙවත් ඉක්මනින් චලනය වන උපකරණයක් (=vibrator).

කම්පනය

1. නා. චලනය; සෙලවීම; දෙදරීම.
2. නා. හදිසි ශාරීරික හෝ මානසික වියවුල.
3. නා. සිතේ ඇතිවන බලවත් තිගැස්ම.
4. නා. කුන්තායුධය.

කම්පල

1. නා.ප්‍ර. කූශලාකුශල කර්මයෙහි විපාකය; කර්මඵලය; කර්ම විපාකය.
2. නා.ප්‍ර. ප්‍රයෝජනය; ඵලය; ප්‍රතිඵලය.

කම්පස

1. නා. කර්මයට හේතුව හෝ කාරණය.
2. (ව්‍යාක.) නා. කර්ම විභක්තිය හැඟවීමට යොදනු ලබන ප්‍රත්‍යය; කර්ම විභක්ති ප්‍රත්‍යය.
3. නා. කාමය හෙවත් ආශාව නමැති උගුල; කාම පාශය.
4. නා. හික්මීම; ශික්ෂිත භාවය; කීකරුකම.
5. නා. පිළියෙල කිරීම; සකස් කිරීම.

කම්පස් කරනවා

1. ක්‍රි. ප්‍රයෝජන ගැනීමට යෝග්‍ය කරනවා; පාවිච්චියට සුදුසු කරනවා; සකස් කරනවා.
2. ක්‍රි. හික්මවනවා; කීකරු කරනවා.

කම්ප්‍ය

(පාරිභා.) වි. කම්පනය විය හැකි (=vibratile).

කම්ප්‍යමාන

වි. කම්පනය කරනු ලබන; සෙලවෙන.

කම්පාව

1. නා. සිත් තැවුල; කනගාටුව; කම්පනය.
2. නා. සෙලවීම; චලනය; කම්පනය.

කම්පිත

1. වි. චංචල වූ; වෙවුලා ගිය; කම්පනය වූ
2. වි. (සිත සැලීමෙන්) කලබලයට හෝ ශෝකයට පත් වූ; සැලුණු; කැලඹුණු.

කම්බ

නා. කණුව; ටැඹ.