සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 415

කම්බ කණුව

1. නා. කමතෙහි මැද සිටුවන කණුව.
2. නා. සිංහල රජ දවස වරදකරුවන් බැඳ තැබීම සඳහා සිටවූ කණුව.
3. නා. යක් තොවිල් විශේෂයක නාමය.

කම්බය

නා. පුස්කොළ පොත්වල මුලටත් අගටත් කවරයක් වශයෙන් යොදන තුනී ලෑලි පටිය.

කම්බල

1. නා.ප්‍ර. පෙර කළ කුසල් අකුසල්වල බලය; කර්ම ශක්තිය; කර්ම බලය.
2. නා.ප්‍ර. ලෝමයෙන් කරන ලද රෙද්ද හෝ පලස; කම්බිලිය.

කම්බස් කරනවා

1. ක්‍රි. කීකරු කරනවා; හීලෑ කරනවා; හික්මවනවා; මට්ටු කරනවා.
2. ක්‍රි. නැති කරනවා; විනාශ කරනවා; නසනවා.
3. ක්‍රි. ගව ආදි සතුන්ගේ බීජෝත්පාටනය කරනවා.
4. ක්‍රි. දඩයම් කරන ලද සතුන් මස් කරනවා.

කම්බාය

නා. පුරාණයේ ස්ත්‍රීන් විසින් අඳින ලද කොටු වැටුණු ඉරි වස්ත්‍ර විශේෂයක්.

කම්බි ආමානය

(පාරිභා.) නා. කම්බියක හරස්කඩයේ ප්‍රමාණය මනින උපකරණය; කම්බි මාපකය (=wire gauge).

කම්බි ඇණය

1. නා. යකඩ කම්බි කැබැල්ලකින් සාදන ඇණය.
2. (කථා.) නා. කොකු ඇණය.

කම්බි ඒදණ්ඩ

(පාරිභා.) නා. විද්‍යුත් ප්‍රතිරෝධය මැනීමට භාවිත කරන උපකරණය; කම්බි සේතුව (=wire bridge).

කම්බි දාරය

(පාරිභා.) නා. තලය අතිශයින් මුවහත් වූ විට ආපසු නැමී සෑදෙන බොරු දාරය (=wire edge).

කම්බි පණුවා

නා. ගොම, දිරාපත් ලී ආදියෙහි වසන සුදු විශාල පණු විශේෂයක්.

කම්බි පථය

(පාරිභා.) නා. උපකරණයක විද්‍යුත් ධාරාව ගමන් කරන කම්බි මාර්ගය (=wiring).

කම්බි ලේන්සුව

(කථා.) නා. දළ කපු නූල්වලින් තැනූ වාටිය සමීපයෙහි ඉරක් ඇති ලොකු ලේන්සු විශේෂයක්.

කම්බිදැල්

1. නා.ප්‍ර. කම්බියෙන් කරන ලද දැල.
2. නා.ප්‍ර. කම්බියෙන් වියන ලද දැල් රෙදි.

කම්බිය

1. නා. ලෝහයෙන් කළ කෙන්ද හෝ සිහින් කූර.
2. නා. ලෝහ කෙඳි රාශියක් එකට අඹරා සාදන ලද කඹය; කේබලය.
3. නා. රෙද්දක හෝ ලේන්සුවක වාටිය සමීපයෙහි ඇති හීන් ඉර.

කම්බිළිය

නා. ලොම්වලින් වියන ලද්ද; ලෝම වස්ත්‍රය.

කම්බු

1. නා.ප්‍ර. හක්ගෙඩිය.
2. නා.ප්‍ර. අතේ පලඳින වළලු විශේෂයක්.
3. නා.ප්‍ර. බෙල්ල; ග්‍රීවය.
4. නා.ප්‍ර. ඇතා.
5. නා.ප්‍ර. දුම්කොළයේ මැද නාරටිය; දුම්කොළ නැට්ට.

කම්භය

නා. එක්තරා විශාල සංඛ්‍යාවක්.

කම්ම

1. නා.ප්‍ර. යමකු කරන ක්‍රියාව; කෘත්‍යය; කාර්යය.
2. නා.ප්‍ර. සිතින් කයින් හෝ වචනයෙන් කරන කුශලාකුශල ක්‍රියාව.
3. නා.ප්‍ර. විනය නීති අනු ව ගත යුතු ක්‍රියා මාර්ගය; විනය කර්මය.

කම්මජ

(අභි.) වි. කර්මයෙන් ජනිත වූ; කර්මය නිසා ඇති වූ.

කම්මට්ඨාන

නා.ප්‍ර. (අභි.) සමථ, විදර්ශනා භාවනා සඳහා සිත පිහිටුවන අරමුණ; කර්මස්ථානය.

කම්මල

1. නා.ප්‍ර. යකඩ වැඩ, ලෝහ වැඩ කරන ස්ථානය.
2. නා.ප්‍ර. ඒවා ආශ්‍රයෙන් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ස්ථානය.

කම්මිත්ත

1. නා. මෙහෙකාර ස්ත්‍රිය; කුලුපග දාසිය.
2. නා. රූපය නිසා මෙහෙ කිරීමට තබාගත් ස්ත්‍රිය; වර්ණ දාසිය.
3. නා. කර්මාන්තකාරයා; රන්රිදී කර්මාන්ත කරන්නා.

කම්මුතු

1. වි. අවසන් වූ; කෙළවර වූ; නිම වූ; සමාප්ත.
2. වි. විනාශ.

කම්මුල

නා. මුහුණේ පැත්ත; කපෝලය; කනට සමීප ප්‍රදේශය.