සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 47

අඬසන

නා. “හූ” ශබ්දයක් ඇසෙන තරම් දුර; කෑගසන කටහඬ ඇසෙන දුර ප්‍රමාණය.

අඬහැරය

1. නා. මහා හඬින් කෑගැසීම; කෑමොර දීම; උස්හඬ.
2. නා. සී සෑම් ආදියේ දී හරකුන් මෙහෙයවීම සඳහා ගී තාලයට නගන උස් හඬ.
3. නා. වන සතුන් පලවා හැරීමේ දී ගොවියන් නගන හඬ.
4. නා. ඔරු පැදීමේ දී නඟන හඬ.
5. නා. ගවයන්ගේ ගෙලෙහි බැඳි සොකඩයෙන් නඟින හඬ.

අඬා බසිනවා

ක්‍රි. ශබ්ද නඟා ගෙන ගලා බසිනවා; හඬ නඟා ගෙන ඇද හැලෙනවා.

අඬාරය

1. (කථා.) නා. හඬ නඟමින් ගලා බසින කුඩා දිය පාර.
2. නා. උසට තැනූ අතු පැල හෝ කුඩාරම; උස් වූ මඩුව.
3. නා. වල් කොටා ගිනි තැබීමෙන් පසු ඉතිරි වන අකුල්ගොඩ.
4. නා. අතු රාශියක් හැම අතට ම විහිදෙමින් උසට වැඩුණු ගස.

අඬු

1. නා.ප්‍ර. බීජ; බිජුවට.
2. නා.ප්‍ර. අණ්ඩ; මුෂ්ක.
3. නා.ප්‍ර. අඬුව; අණ්ඩ.

අඬු පූට්ටුව

(කථා.) නා. දත කට පියවීම; දත් යතුරු වැටීම.

අඬු බහුරා

(කථා.) නා. අඬු රැසක් ඇති සතා; පත්තෑයා; ශතපදියා.

අඬු මැස්සා

නා. දික් අඬු ඇති මැසි වර්ගයක්; කිරි වදින කාලයේ ගොයමට හානි කරන මැස්සෙක්.

අඬු මිටිය

(පාරිභා.) නා. ඇණ ගැලවීම සඳහා එක් පැත්තක් පෙතැලි කොට අඬුවක් බවට පත් කරවන ලද මිටිය (=claw hammer).

අඬුපඬු

නා.ප්‍ර. කුරුමිණි ආදි සතුන්ගේ අඬු වැනි අවයව; ස්පර්ශිකා.

අඬුබරියා

1. (කථා.) නා. අඬුවලින් බර වූ හෙවත් අඬු රැසක් ඇත්තා; ඉස්සා.
2. නා. ගෝනුස්සා; නුහුසුවා.

අඬුමස්ස

නා. පැරණි කාසියක්; රිදියෙන් බිලී කොක්කක හැඩයට සාදන ලද්දකි.

අඬුව

1. නා. යමක් තදින් අල්ලා ගැනීම සඳහා හෝ උගුල්ලා ගැනීමට හෝ පාචිච්චි කරන ලෝහයෙන් තැනූ උපකරණය; ශල්‍ය අඬුව; යහඬුව; ඩැහි අඬුව සන්දංශය.
2. නා. ආත්‍රපෝඩා වංශයට (කකුළු, ගෝනුසු වැනි) අයත් සතුන්ගේ ඉදිරිපස ඇති කතුරක හැඩය ගත් අවයවය.
3. නා. කෝප්ප, ජෝගු ආදිය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා ඒවාට සවිකොට ඇති කොක්ක.
4. නා. කැලෑරොද; ළැහැබ.

අඬෝරය

(කථා.) නා. සමූහයක් එකතුව කරන මහත් ඝෝෂාව; කෑ මොර ගැසිල්ල; ගාලගෝට්ටිය.

අත

1. නා. උරහිස සිට ඇඟිලි කෙළවර දක්වා වූ ශරීරාවයවය.
2. නා. බඹයෙන් හතරෙන් කොටස; රියන; දෙවියත.
3. නා. අඟල් හතරක පළල; අත්ලෙහි පළල.
4. නා. හොඬවැල; ඇත්සොඬ.
5. නා. සිවුපාවුන්ගේ ඉදිරි ගාතය.
6. නා. පුටුවෙහි වාඩිවී අත තබා ගන්නා ඇන්ද; පුටු ඇන්ද.
7. නා. නඟුල්, යන්ත්‍ර ආදියෙහි මිට.
8. නා. ක්‍රීඩාවක දී ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩා පිලකට ලැබෙන වාරය.
9. නා. බුලත් කොළ හතළිහකින් සමන්විත මිටිය; බුලත් අත.
10. නා. කෙළවර; අග; අද්දර.
11. නා. පැත්ත; දිසාව.
12. නා. ඇතුළ; අභ්‍යන්තරය.
13. නා. තමා; ආත්මය.
14. නා. සිත; මනස; චිත්තය.
15. නා. ප්‍රයෝජනය; ශුභ සිද්ධිය; අභිවෘද්ධිය.
16. නා. ධනය; වස්තුව.
17. නා. තේරුම; අරුත.
18. නා. ඉර බැස යෑම; අස්තඞ්ගත වීම; අස්ත පර්වතය.

අතංගුව

නා. කුඩා මසුන් ඇල්ලීම සඳහා අතින් මෙහෙයවන දැල් ගොටුව.

අතඅරිනවා

1. ක්‍රි. ග්‍රහණය ඉවත් කරනවා; නිදහස් කරනවා; මුදා හරිනවා.
2. ක්‍රි. හැර දමනවා; බැහැර කරනවා; නොතකා හරිනවා.

අතඋඩ

(කථා.) ක්‍රි.වි. වැඩි කරදර වීමක් හෝ වෙහෙසීමක් නැති; ඉතා පහසුවෙන්.

අතක්කාවචර

වි. තර්කයෙන් ඔප්පු කළ නොහැකි; තර්කයට විෂය නොවූ.

අතක්කුව

(කථා.) නා. අසීරුව; අමාරුව; හදිසි උවමනාව.

අතකුර

නා. එක් අතක දබරැ ඟිල්ලෙන් අනෙක් අතේ දබරැ ගිල්ල තදින් පසු පසට ඇද එහි රඳවා ඉලක්කයට විදින ගල් කැටය.

අතකුරු

[අත් + අකුරු]
නා.බහු. අතින් ලියූ අකුරු.

අතකුළුව

1. නා. එක් දැව කුට්ටියකින් සාදා ගැනුණු මිටි විශේෂයක්.
2. නා. පඬු පෙවූ සිවුරු තැළීමට ද කොහු තැළීමට ද ගැනෙන කෙටි ලී මුගුර; දඬු මුගුර.
3. (රූඪි.) නා. උපාය වශයෙන් යොදා ගනු ලබන්නා; කෙනෙකුගේ කීම අනුව යටත් පහත් මෙහෙයෙහි යෙදී සිටින්නා.

අතග

[අත් + අග]
නා. අවරගිර; අස්ත පර්වතය.

අතගැනුම

නා. පාණිග්‍රහණය; ආවාහ විවාහය.