සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 483

කුචකුම්භ

නා.ප්‍ර. කලස් බඳු පියයුරු.

කුච්ඡිත

වි. පිළිකුල් සහගත; නින්දිත; පහත්.

කුච්ජිසමය

නා.ප්‍ර. පොසොන් අවපෑළවියේ පටන් ඉල් මස පුර පසළොස්වක දක්වා වන පස් මාසය.

කුචිකිත්සාව

නා. සම්පූර්ණ සුවය නොදෙන වෙදකම; වැරදි වෙදකම.

කුජ

1. නා.ප්‍ර. ගස; වෘක්ෂය.
2. නා.ප්‍ර. අඟහරු ග්‍රහයා.

කුජදා

නා.ප්‍ර. සතියෙහි කුජ ග්‍රහයාට හිමි දිනය; සතියේ තුන් වැනි දවස; අඟහරුවාදා; කුජදින.

කුජ්ජිතය

1. (කථා.) නා. මිනිස් සිරුරේ හටගන්නා විෂ ගෙඩි විශේෂයක්; විසප්පුව; ලේ ගෙඩිය.
2. (කථා.) නා. කුද්දැට්ට; ඉකිළි, කිසිලි ආදියෙහි මතුවන ඉදිමුණ ග්‍රන්ථිය.

කුජිතය

1. (කථා.) නා. කඩදාසි කුට්ටමෙන් කරන සෙල්ලමකදී මුළු වාසි ගණනින් අඩක්වත් හිමි නොවී පැරදීම.
2. (කථා.) නා. විනාශවීම; පරිහාසයට ලක්වීම; නින්දාවට පත්වීම; බාල්දුවීම.

කුඤ්චිකා

1. නා.ප්‍ර. දොර කවුළු ආදියෙහි යතුර; කෙස්ස.
2. (පාරිභා.) නා.ප්‍ර. උරයෙහි පිහිටි අස්ථියක්; අකු ඇටය (=collar bone).
3. නා.ප්‍ර. කිරිමෝරු විශේෂයක්; උකු කළ කිරිමෝරු.

කුඤ්ජය

1. නා. ගස්වැලින් සැදුණු මණ්ඩලය; ලිය ගොමුව.
2. නා. ඇතාගේ හනුව; ඇත් හක්ක.

කුඤ්ඤය

නා. මුල සිට ක්‍රමයෙන් සිහින් වී යන කෙටි උලක් වැනි (ලී, ලෝහ) වැනි තද ද්‍රව්‍යයකින් සාදන ලද උපකරණය; කීලය.

කුට

නා.ප්‍ර. කළය; ඝටය.

කුට්ටනිය

නා. දුරාචාරයට ස්ත්‍රීන් සපයා දෙන තැනැත්තිය.

කුට්ටම

1. නා. ජෝඩුව; යුගලය; දෙක.
2. නා. ඒකකයකට හෝ එක වර්ගයකට අයත් කිහිපය; කට්ටලය.
3. නා. කඩදාසි කුට්ටම.
4. (ක්‍රිස්ති.) නා. සමිතිය; නිකාය.

කුට්ටම් පනාව

නා. පුරාණයේදී පිරිමින් විසින් අලංකාරය සඳහා හිසෙහි ගසන ලද පනා විශේෂයක්

කුට්ටම් පොකුණ

නා. අනුරාධපුරයේ අභයගිරි විහාරය අසල පිහිටි පුරාණ පොකුණ.

කුට්ටම්ගී

නා.ප්‍ර. සමූහ වශයෙන් ගයන ගීත.

කුට්ටා

(කථා.) නා. කල්ලි ක්‍රීඩාවේ දී භාවිත කරන වියතක් පමණ දිග ඇති ලී කැබැල්ල.

කුට්ටිය

1. නා. ඝනකමක් ඇති ලොකු හෝ කුඩා කොටස හෝ කෑල්ල; ස්කන්ධය.
2. නා. ඉඩම් කෑල්ල; භූමි භාගය.
3. (කථා.) නා. මුදලින් හෝ වස්තුවෙන් කොටසක්.

කුට්ටිසාක්කුව

(කථා.) නා. කුඩා ගෝනි මල්ල; පොඩි මල්ල.

කුටි

1. නා.ප්‍ර. ශරීරය; ආත්ම භාවය.
2. නා.ප්‍ර. වතුර; ජලය.
3. නා.ප්‍ර. ගස.
4. නා.ප්‍ර. ඉඟුරු.
5. නා.ප්‍ර. කුටිය; කුඩා ගෙය; පැල.

කුටිපුරුෂයා

නා. ගෙහිමියා; පවුලක ප්‍රධානයා; ගෘහ මූලිකයා.

කුටිය

නා. කුඩා කාමරය.

කුටිල

1. වි. ඇද; වකුටු.
2. වි. කපටි; වංක; වංචනික.
1. නා.ප්‍ර. සුදු ඊයම්.
2. නා.ප්‍ර. අශුභ යයි සම්මත ගෘහ අතරින් එකක්.