සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 50

අත් කොපු

(පාරිභා.) [නා. බහු.) අත්වැසුම්; අත් මේස් (=gloves).

අත් කොළය

1. නා. පාගා ගන්නා තුරු කමතෙහි තාවකාලිකව ගසා තිබෙන කුඩා කොළය.
2. නා. අතුරෙහි යෑමට සාදා ඇති අත්වැල.

අත් ගිගිරිය

නා. පෙරදිග තූර්ය භාණ්ඩයක්; නළු නිළියන් පලඳින ගිගිරි වළල්ල.

අත් ගුණය

නා. යමක් සාර්ථක වීම සඳහා එය කරන්නා කෙරෙහි පවතිතැයි හඟින ගුණ විශේෂය; ලෙඩ සුව වීම සඳහා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ද වගාව සාර්ථක වීම සඳහා ගොවියා සම්බන්ධයෙන් ද ඇතැයි විශ්වාස කරන විශේෂ ගුණය.

අත් ගොබය

නා. අතෙහි වැළමිට හා මැණික් කටුව අතර වූ කොටස.

අත් තිරිංගය

නා. මෝටර් රථයක් නවත්වා තැබීමේ අරමුණින් රථ චක්‍ර හිර කිරීම සඳහා අතින් ඇද ක්‍රියා කරවන උපකරණය.

අත් දණ්ඩ

1. නා. අතෙහි මැණි කටුවත් වැළමිටත් අතර කොටස; අත්ගොබය.
2. නා. අතෙහි වැළමිටත් උරහිසත් අතර කොටස.
3. නා. වෑ පොරෝ ආදියෙහි මිට.
4. නා. තරාදියෙහි දණ්ඩ, තුලා දණ්ඩ
5. නා. ආසනයක අත තබා ගන්නා ඇ; අත් ඇන්ද.
6. නා. හැරමිටිය; සැරයටිය.
7. නා. රෙදි වියන යන්ත්‍රයෙහි අවයවයක්.
8. (කමත්.) නා. ගොයම් මැඩීමේ දී අල්ලා ගෙන සිටීම සඳහා හරහට බඳින ලීය.

අත් නූල

1. නා. (පැරණි සිරිත් අනුව) විවාහයේ දී මනමාලියගේ වම් අතේ බඳින නූල; මඟුල් හුය.
2. නා. විවාහ මංගල්‍යයේ දී විවාහ වන යුවළගේ දෙඅතේ මහපට ඇඟිලි දෙක හෝ සුළැඟිලි දෙක එක් කොට බඳින නූල

අත් පට

නා. දුනුදිය ඇදීම පිණිස අසරුවන් භාවිත කළ අත් වැස්ම.

අත් පටිය

නා. දරන නිලය හෝ කරන සේවය ඇඟවීමට බාහුවෙහි බඳින පටිය.

අත් පඬුර

1. නා. කාර්යය ඉටු කරන පොරොන්දුව පිට කලින් දෙන මුදල හෝ තෑග්ග.
2. නා. යමකු දැකීමට / බැහැ දැකීමට යන විට ගෙන යන තෑග්ග.

අත් පන්දම

නා. තෙල් පෙවූ පාන්කඩ, කොප්පරා කැබලි ආදිය දැල්වීම සඳහා දිග මිටක සවි කළ මාලාවක් සහිත වූ ද පූජා පෙරහැර ආදියෙහි ගෙන යනු ලබන්නා වූ ද පහන් විශේෂයක්.

අත් පොත

1. නා. වැදගත් කරුණු වහා සටහන් කර ගැනීම සඳහා අතේ තබා ගන්නා කුඩා පොත.
2. නා. යම් විෂයයක් සඳහා වූ උපදෙස් පොත; යම් විෂයයක් පිළිබඳ ව ප්‍රධාන කරුණු පමණක් සම්පිණ්ඩනය කර සකස් කළ පොත.
3. නා. මෙහෙයුම් පෙළ පොත; පාඨ්‍ය ග්‍රන්ථය (= text book).

අත් පොම්පය

නා. ළිං ආදියෙන් උඩට වතුර ඇදීම සඳහා අතින් ක්‍රියා කරවනු ලබන පොම්පය.

අත් පොරය

නා. අත්වලින් කරන තරග සටන; මල්ලව පොරය; බාහු යුද්ධය.

අත් පොරොව

නා. ගස් කැපීම සඳහා තනි අතින් මෙහෙයවිය හැකි කොට මිටියකින් යුත් කුඩා පොරොව,

අත් බන්ධනය

නා. කරකාර බැඳීම; ආවාහ විවාහ වීම; කසාද බැඳීම.

අත් බමරය

නා. නූලක් වටේට ඔතා බිමට විසි කළ විට වේගයෙන් කරකැවෙන ක්‍රීඩා භාණ්ඩය; අගින් හෙවත් තුඩින් භ්‍රමණය වන ක්‍රීඩා භාණ්ඩය.

අත් බලිය

නා. ශාන්තිකර්ම සඳහා අතේ තබා ගත හැකි ප්‍රමාණයෙන් කුඩා කොට මැටියෙන් සාදා ගනු ලබන බලිය.

අත් බැලීම

නා. අතෙහි එනම් අල්ලෙහි රේඛා ලකුණු බලා පලාපල කීම; හස්ත රේඛා ශාස්ත්‍රය.

අත් බුරුමය

නා. අතින් කරකවා ලී ආදිය විදින උපකරණය.

අත් බෙහෙත

(කථා) නා. වෛද්‍ය උපදෙස නොලබා පළපුරුද්දෙන් සාදා දෙන බේත; අත්දුටු බේත.

අත් බෝම්බය

නා. අතින් දමා ගැසීම සඳහා තනන බෝම්බය; කුඩා බෝම්බය.

අත් මිටිය

(කථා.) නා. තනි අතින් ගෙන වැඩ ගත හැකි කුඩා මිටිය.