සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 512

කේතුප්ලාස්කුව

(පාරිභා.) නා. රසායනික පරීක්ෂණවල දී භාවිත කෙරෙන පැතලි පතුලක් සහ කුඩා කටක් ඇති කේතුවක හැඩය ගත් ශරාව/ භාජනය (=conical flask).

කේතුප්‍රක්ෂේපණය

(පාරිභා.) නා. කඩදාසි කේතුවක ශිඛරය පෘථිවිගෝලයේ ධ්‍රැවයට ඉහළින් සිටින පරිදි තබා සිතියම කේතුව මත ප්‍රක්ෂේපණය කර කේතුව දිග හැරීමෙන් ලැබෙන ප්‍රක්ෂේපණය (=conical projection).

කේතුපිලන්ධනය

නා. චෛත්‍යයක කොත් පැලඳවීම.

කේතුබීකරය

(පාරිභා.) නා. කේතු හැඩයෙන් යුක්ත වූ ද අඩංගු ද්‍රවයක් නොඉහිරෙන පරිදි වත්කළ හැකි
වන සේ කටෙහි හොට හැඩ තන්තුවක් සහිත වූ ද භාජනයක් (=conical beaker).

කේතුමානය

නා. නලයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීමට භාවිත කරන ත්‍රිකෝණාකාර ලෝහමය උපකරණයක නාමය (=cone gauge).

කේතුමාලාව

නා. රශ්මිමාලාව; බුදුරජාණන් වහන්සේගේ සිරසින් විහිදී බබළන රශ්මි කදම්බය.

කේතුව

1. නා. ප්‍රභාව; රශ්මිය.
2. නා. ගින්න; අග්නිය.
3. නා. කොඩිය; ධජය.
4. නා. දාගැබ් ප්‍රාසාදාදිය මුදුනෙහි තබන කොත; ශෘංගය.
5. නා. වල්ගාතරුව; ධූමකේතුව.
6. (ප්‍ර. යෙදේ)(පාරිභා.) නා. වෘත්තාකාර පතුලක් සහ ක්‍රමයෙන් සිහින් වී ගොස් කේතුව බවට පත් මුදුනක් සහිත කොතක් බඳු ඝන වස්තුව (=cone).

කේතුසරාව

නා. කේතුකාකාර වීදුරු භාජනය (=conical flask).

කේතුසෛල

(පාරිභා.) නා.ප්‍ර. ඇසේ දෘෂ්ටිවිතානයේ පිහිටි ප්‍රතිග්‍රාහක සෛල දෙවර්ගයෙන් එකක්; අනෙක යෂ්ටි සෛලයයි; යමක් පැහැදිලි ව දැනගැනීමටත් වර්ණ හඳුනා ගැනීමටත් කේතු සෛල ඉවහල් වේ.

කේදගන්

නා.ප්‍ර. පෙරහැරවල දෙවියන්ගේ ආයුධ ගෙන යාමට ලී ආදිය යොදා සාදන දෝලාව.

කේදාරය

නා. කුඹුර, කෙත.

කේන්තිය

නා. තරහව; කෝපය.

කේන්දරය

1. (ජ්‍යෝති.) නා. යමකුගේ උත්පත්ති වේලාවේ දී ග්‍රහයන් පිහිටීම දක්වන සටහන හා උපන් ලග්නය, නැකත ආදිය ඇතුළත් කොට ලියූ විස්තරය; හඳහන.
2. නා. අදාළ වේලාවේ ග්‍රහයන්ගේ පිහිටීම දක්වන දොළහට බෙදූ රාශි චක්‍රයෙහි 1, 4, 7, 10 යන ස්ථාන; හතර කේන්දරය.
3. නා. මධ්‍යස්ථානය; ප්‍රධාන ස්ථානය.

කේන්ද්‍රකය

(පාරිභා.) නා. (ගණිත) ත්‍රිකෝණයක මධ්‍යස්ථ හමුවන ලක්ෂ්‍යය (=centroid)..

කේන්ද්‍රගත

1. (පාරිභා.) වි. වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා අදින ලද සරල රේඛා සම්බන්ධ වූ අරීය (=radial).
2. (ජ්‍යෝති.) වි. ජන්මපත්‍රයෙහි හෙවත් කේන්දරයෙහි එක, හතර, හත, දහය යන ස්ථානයන්ගෙන් එකක හෝ කිහිපයක පිහිටි: කේන්ද්‍රස්ථානයක පිහිටි.
3. වි. ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්.

කේන්ද්‍රපථය

(පාරිභා.) නා. ශුද්ධ භ්‍රමණයේ ක්ෂණික කේන්ද්‍රයක ඒ ඒ ස්ථාන විසින් ලකුණු වන පථය (=centrode).

කේන්ද්‍රභූත වෙනවා

ක්‍රි. එක් ලක්ෂ්‍යයක දි හමු වෙනවා; එක් ලක්ෂ්‍යයක් කරා යොමු වෙනවා; නාභිගත වෙනවා (=focus).

කේන්ද්‍රය

1. (පාරිභා.) නා. වෘත්තයක හෝ ගෝලයක හෝ මධ්‍ය ලක්ෂ්‍යය; මැද න්‍යෂ්ටිය (=centre).
2. නා. ස්ඵටිකයක මූල ස්වරූපය; අතිසූක්ෂ්ම ස්ඵටිකය.
3. නා. යමකුගේ උත්පත්ති වේලාවේ දී ග්‍රහ තාරකාවල පිහිටීම හා ලග්නය, නැකත ආදිය ඇතුළත් විස්තරය; ජන්ම පත්‍රය.
4. නා. ජන්ම පත්‍රයක දොළහට බෙදූ රාශි චක්‍රයෙහි එක, හතර, හත, දහය යන ස්ථාන.
5. නා. ප්‍රධාන ස්ථානය; මූලස්ථානයක මධ්‍ය ස්ථානය.

කේන්ද්‍රස්ථානය

1. නා. ජන්ම පත්‍රයේ ලග්නය, හතර, හත, දහය යන ස්ථාන හෝ ඉන් එකක්.
2. නා. ප්‍රධාන ස්ථානය: මධ්‍ය ස්ථානය.

කේන්ද්‍රාපසාරකය

(පාරිභා.) නා. ද්‍රවයකින් අනෙක් ද්‍රවයක් හෝ ඝන ද්‍රවයක් හෝ වෙන් කිරීම පිණිස ඉතා වේගයෙන් භ්‍රමණය කළ හැකි උපකරණයක් (=centrifuge).

කේන්ද්‍රාපසාරී

(පාරිභා.)
1. වි. කේන්ද්‍රයෙන් පිටතට නැඹුරු වූ; කේන්ද්‍රයෙන් ඉවතට තල්ලු වන (=centrifugal).
2. වි. මල් කිනිත්තක අග මල ප්‍රථමයෙනුත් ඊළඟ මල අනුපිළිවෙළිනුත් පිපෙන; අග්‍රයේ පටන් පාදය දෙසට වර්ධනය වන.

කේන්ද්‍රාභිසාරී

1. (පාරිභා.) වි. කේන්ද්‍රය හෙවත් මධ්‍යලක්ෂය කරා යන; කේන්ද්‍රය වෙතට හෝ ඉවතට නැමී යන.
2. වි. පිටතින් ඇතුළට හෝ කේන්ද්‍රය දෙසට වැඩෙන (=centripetal).

කේන්ද්‍රික

(පාරිභා.) වි. මධ්‍යගත; මැද පිහිටි.

කේන්ද්‍රික බලය

(පාරිභා.) නා. කිසියම් අංශුවක් කෙරෙහි ක්‍රියා කරමින් අචල ලක්ෂ්‍යයක් දෙසට හෝ ඒ ලක්ෂ්‍යයේ සිට ඉවතට හෝ එල්ල වූ බලය.