සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 570

ගල්තලාව

නා. විශාල භූමි භාගයක පැතිර පවත්නා ගල්පොත්ත; ශිලා තලය.

ගල්තාර

නා. ගල් අඟුරුවලින් ලබාගන්නා අතුරු නිෂ්පාදනයක් වූ තාර වැනි වූ ද්‍රව්‍යය.

ගල්දෙණ

නා. ගලින් සෑදූ දෙණ; ගල් ඔරුව.

ගල්පයත

නා. පර්වත පාදය; කඳු පාමුල.

ගල්පාත

නා. ගල පාමුල පර්වත පාදය.

ගල්පාසි

නා.ප්‍ර. ගල්වල බැඳෙන දිය සෙවෙල්.

ගල්පීල්ල

නා. ගලින් සෑදූ හෝ සෑදුණු පීල්ල; ගල්කාණුව.

ගල්බිංදුව

නා. ඇතුළත බින්දුවක් සහිත සිවුරැස්වලින් යුත් මෝස්තර පේළියකින් සෑදෙන චිත්‍ර හෝ කැටයම් රටාව.

ගල්මද

නා.ප්‍ර. පොළොවෙන් ලබා ගන්නා ඖෂධීය ඛනිජයක්; පාෂාණ භූමිවල ඇතිවන සීනක්කාරම් වර්ගයක්.

ගල්මැලියම්

නා. ගල් සෙවෙල්; ශිලාජතු.

ගල්ලෑල්ල

1. නා. ලිවීමට ගන්නා පැතැලි කළුගල් පැහැති සතරැස් පෙතක් හෙවත් පෙතැල්ලක්.
2. නා. ගල් පුවරුව.

ගල්වඩුවා

නා. ගල්වලින් කර්මාන්ත කරන තැනැත්තා; ගල් රූප, ප්‍රතිමා නෙළන්නා.

ගල්වනවා

1. ක්‍රි. ඇතුළට කා වදින සේ ආලේප කරනවා; තදින් තවරනවා; උලනවා.
2. ක්‍රි. ගිල්ලවනවා; කිමිදෙනවා; යටට යවනවා.

ගල්වල

1. නා. පර්වතයන්ගෙන් ගැවසී ගත් කැලෑ පෙදෙස; ගිරිවනය.
2. නා. කඳුකර ප්‍රදේශය.

ගල්වළ

1. නා. බෝර දමා ගල් පුපුරුවා කළු ගල් කඩා ගන්නා ස්ථානය.
2. නා. ගලෙක පිහිටි වළ.

ගල්වැස්ස

1. නා. හිමකැට සහිත වර්ෂාව; හිමකැට වැස්ස.
2. නා. ගල්කැට වැටෙන වර්ෂාව; වැසි පොද මෙන් ගල්කැට වැටීම.

ගල්විහාරය

1. නා. ගල්ලෙන් ආශ්‍රිත ව ඇති බෞද්ධ විහාරය.
2. නා. පොළොන්නරුවෙහි ගල් පර්වතයක් හාරා නෙලන ලද පිළිම පවතින විහාරය.

ගල්වෙඩි

1. නා.ප්‍ර. පුරාතන යුද්ධවල දී වෙඩි වශයෙන් භාවිත කරන ලද ගල් බෝල.
2. නා.ප්‍ර. ගල් පර්වත පිපිරවීමට යොදනු ලබන වෙඩි.

ගල්වේදිකාව

(පාරිභා.) නා. පර්වතයක අඩිය.

ගල්සෙල්

නා. විශාල ගල් පර්වතය; ගිරි දුර්ග.

ගල්සෙවෙල්

1. නා.ප්‍ර. (පර්වතවල සෑදෙන) ඖෂධ වශයෙන් ගන්නා උපධාතු විශේෂයක්; ගෛරික; අද්‍රිජ.
2. නා.ප්‍ර. ගල්වල බැඳෙන දිය සෙවෙල් සහිත පාසි.

ගල්හිරියල්

නා.ප්‍ර. කසාවර්ණය සාදා ගැනීමට උපයෝගී කරගනු ලබන තද ඛනිජ වර්ගයක්.

ගලා බසිනවා

ක්‍රි. ජලය වැනි ද්‍රව ඉහළ සිට පහළට ගලා එනවා; දිය දහර ගලායනවා.