සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 580

ගාථාමාත්‍රය

නා. ගාථාවක ප්‍රමාණය; එක් ගාථාවකට පමණක් සීමා වූ ධර්ම දේශනය.

ගාථාර්ධය

නා. ගාථාවකින් දෙකෙන් පංගුව; ගාථා අඩ; ගාථා දෙපදය.

ගාථාව

නා. පාද සතරකින් යුතු පාලි පද්‍යය.

ගාධ

වි. (ජලයෙහි) වඩා නොගැඹුරු.
නා.ප්‍ර. ජලයේ මිනිසකු පොවන තරම් ගැඹුරු ප්‍රදේශය; ජල කඳක පතුළ ස්පර්ශ කළ හැකි ස්ථානය.

ගාන පට්ටලය

(පාරිභා.) නා. යතු ගාන යන්ත්‍රය. (=planing machine)

ගාන විද්‍යාව

නා. ගායනය හා වාදනය පිළිබඳ ශාස්ත්‍රය; සංගීත ශාස්ත්‍රය; ගන්ධර්ව විද්‍යාව.

ගානය

නා. ගායන කළ යුත්ත; ගීතය; ගායනය.

ගානවා

1. ක්‍රි. ගී ගායනය කරනවා; සින්දු කියනවා.
2. ක්‍රි. සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.
3. ක්‍රි. තවරනවා; ආලේප කරනවා.
4. ක්‍රි. මුවහත් කරනවා; ඝර්ෂණය කරනවා.
5. ක්‍රි. සූරා දමනවා; සූරා ඔප මට්ටම් කරනවා.
6. ක්‍රි. (හිසකෙස් ආදිය) මුලින් ම කපා සූරා දමනවා.

ගාන්තය

1. (කථා.) නා. නොසන්සුන්කම; දැඟලිල්ල.
2. (කථා.) නා. ආඩම්බරය; උඩඟුව.

ගාන්ධර්ව විවාහය

නා. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ තනි කැමැත්තට අනු ව කර ගන්නා සරණබන්ධනය.

ගාන්ධර්ව ස්වර

නා.බහු. භාරත සංගීතයේ සප්ත ස්වර; ස, රි, ග, ම, ප, ධ, නි යන සංකේතවලින් දැක්වෙන ෂඩ්ජ, සෘෂභ, ගාන්ධාර, මධ්‍යම, පඤ්චම, ධෛවත, නිෂාද යන ශබ්ද ප්‍රභේද හත.

ගාන්ධර්වයා

1. නා. එනම් දේවයෝනියට අයත් තැනැත්තා.
2. නා. සංගීතඥයා; සංගීතවේදියා.

ගානිෂී නියෝගය

(පාරිභා.) නා. යම්කිසි ණය හිමියකුගේ ඉල්ලීම පිට ණයකරුවාට අන් අයකුගෙන් ලැබෙන්නට ඇති මුදලක් ගෙවීම තහනම් කරමින් උසාවිය විසින් නිකුත් කරනු ලබන නියෝගය (=garnishee order).

ගාම පරිච්ඡේදය

නා. ගම් සීමාව; ගමේ මායිම.

ගාමක

වි. චලනය ඇති කරන; ගමනයෙහි යොදවන; ගමන් කරවන.

ගාමකබලය

(පාරිභා.) නා. ගමන හෝ චලනය ඇති කරන ශක්තිය (=motive power).

ගාමකාවාසය

[ගාමක + ආවාස]
නා. ගමෙහි වූ සංඝාවාසය; ගම තුළ වූ පන්සල.

ගාමණි(ණී)

1. නා. ගමේ නායකයා; සමූහයකගේ ප්‍රධානය; ජන නායකයා.
2. නා. පැරණි සිංහල රජවරුන් ස්වකීය නමට ඈඳාගත් අභිධාන පදයක්.

ගාමන්තවාසියා

නා. ගම් සීමාවෙහි වසන භික්ෂුව; ග්‍රාමවාසී භික්ෂුව.

ගාමභෝජකයා

නා. ගමේ ප්‍රධාන නිලධාරියා; ගම්මුදලියා.

ගාම්භීර්යය

නා. ගැඹුරුබව; උදාරබව.

ගාමාන්තරය

නා. අන්‍ය වූ ගම.

ගාමිකයා

1. නා. යන්නා; ගමන් කරන්නා.
2. නා. ගමෙහි වාසය කරන්නා; ගම්වැසියා.

ගාමූපචාරය

[ගාම + උපචාර]
නා. ගම අවට පිහිටි භූමි ප්‍රදේශය; ගම් සීමාවෙහි සිට මධ්‍යම ප්‍රමාණ පුද්ගලයකු ගසන ගලක් වැටෙන තරම් දුර ප්‍රමාණය ඇතුළත පිහිටි පෙදෙස.