සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 608

ගොඩ වැස්ස

නා. ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට ඊසාන දිග මෝසම මඟින් ලැබෙන වැස්ස.

ගොඩ වෙනවා

1. ක්‍රි. පහත් තැනක සිට උස් ස්ථානයකට නඟිනවා; නිවසක්, වාහනයක් වැනි දෙයකට ප්‍රවේශ වෙනවා.
2. ක්‍රි. එක්රැස් වෙනවා; බොහෝ සේ වැඩි වෙනවා.
3. ක්‍රි. යම් පහත් ස්ථානයක් ස්වභාවික ලෙස පිරී යනවා හෙවත් සමතලා වෙනවා.

ගොඩ සුළඟ

නා. ගෙබිමින් මූද අතට හමන සුළග.

ගොඩඔතු

නා.ප්‍ර. පුරාණයේ ගොඩ ඉඩම්වලින් අය කළ බද්දක්; හේන්වලින් අය කළ බද්ද.

ගොඩනැගිල්ල

නා. ගොඩ නගන ලද දෙය; ගෙවල් ප්‍රාසාද ආදිය.

ගොඩනිල්ල

(කථා.) නා. ගොඩබිම පැත්තේ අහසෙහි දිස්වන වලාකුළු සහිත නිල් පැහැය.

ගොඩැල්ල

නා. උසට පස් ආදිය ගොඩ ගැසී ඇති තැන; උස් ව පිහිටි බිම; කඳුගැටය.

ගොඩිගල්

වි. ගොරහැඩි; හැඩ වැඩ නැති; පිළිවෙළක් නැති; දඩබ්බර.

ගොණ

1. නා. නාසය.
2. නා. ගඳ සුවඳ බැලීම.

ගොත

නා. කුල පරම්පරාව; ගෝත්‍රය.
වි. උච්චාරණයේ දී වචන පැටලෙන; එක අකුර පුන පුනා කියැවෙන; වික්කල්.

ගොත ගසනවා

ක්‍රි. උච්චාරණය කඩමින් හෝ එක ම ශබ්දය පුන පුනා කියමින් හෝ කථා කරනවා; වික්කල් ගහනවා.

ගොතන කටුව

නා. (රේන්ද, පටි, ඇඳුම් ආදිය) අතින් ගෙතීමට උපයෝගී කරගන්නා උපකරණය; ගෙතුම් කටුව.

ගොතනවා

1. ක්‍රි. නූල්, ලණු ආදියෙන් තැනූ කුඩා පුඩු එකිනෙක ගැට ගසා ගළපා රටාවකට සකස් කරනවා; ගෙත්තම් කරනවා; මල් ආදිය දාමයක් වශයෙන් එකිනෙක අමුණනවා; කොණ්ඩය කොටස් කීපයකට බෙදා ඒවා එකිනෙක පටලවා අලංකාර ලෙස සකස් කරනවා.
2. ක්‍රි. අමුතුවෙන් නිර්මාණය කරනවා.
2. ක්‍රි. කැස බඳිනවා; අමුඩ ගසනවා.

ගොදුර

1. නා. ආහාරය; විශේෂයෙන් සතුන්ගේ ආහාරය.
2. නා. මසුන් අල්ලා ගැනීමට බිළියෙහි අමුණන ඇම.
3. නා. මරණය, පහරදීම්, සොරසතුරු උවදුරු, ඇණුම් බැණුම්, රෝග පීඩාදියට ලක්වන පුද්ගලයා හෝ සතා හෝ දෙය.
4. (අභි.) නා. ඇස, කන ආදි ඉන්ද්‍රියවලට විෂය වන රූප, ශබ්ද, ආදි අරමුණුවලින් එකක්.

ගොදුරු ගම

නා. ආශ්‍රමයක වෙසෙන භික්ෂූන් සිවු පසය ලබාගන්නා ගම් ප්‍රදේශය; ආහාර සපයන ගම.

ගොදුරු බිම

නා. ගව බැටළු ආදි සතුන් ආහාර සපයා ගන්නා බිම් පෙදෙස.

ගොනගුල්

නා.ප්‍ර. වඳුරා.

ගොනටු

නා.ප්‍ර. අතීතයෙහි මගීන්ට ගිමන් හැරීම ආදිය පිණිස මගතොට අසල තනා තිබුණු ආසන විශේෂයක්.

ගොන් අඳේ

(කථා.) නා. කුඹුරු වැඩ සඳහා යොදවාගත් ගවයන් වෙනුවෙන් කුලිය වශයෙන් දෙනු ලබන අස්වැන්න කොටස.

ගොන් කැරැල්ල

නා. (කමත්) ගොයම් පෑගීම සඳහා එකට ඇඳූ ගවයන් කිහිපදෙනා; හරක් ගැළතුම.

ගොන් ගෙය

නා. එකට ඇඳූ ගොනුන් දෙදෙනා; හරක් බාන; ගොන් බාන.

ගොන් බද්ද

නා. පුරාණ යුගයේ රජය සන්තක ගවයන් ආරක්ෂාකාරී ව ජීවත් වූ ප්‍රදේශය.

ගොන් රැස

නා. (ජ්‍යෝති.) රාශි දොළහෙන් එකක්; වෘෂභ රාශිය.

ගොන්ඩෝලාව

1. නා. පතුළ සමතලා කුඩා බෝට්ටු වර්ගයක්.
2. නා. ගොන්ඩෝලාවක හැඩයට තනා ඇති වේවැල් කූඩය.