සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 607

ගේයපද

නා.ප්‍ර. ගායනය පිණිස සැකසූ පදවැල; ගීත නිබන්ධනය; ගී රචනාව.

ගේලංකාරයා

නා. මඟුල් දිනට පෙර දින මනාලියගේ නිවසට යවන මනාල පාර්ශ්වයේ නියෝජිතයා.

ගේලඤ්ඤය

නා. ගිලන්බව; රෝගී භාවය.

ගේලියාව

(පාරිභා.) නා. (කෘමි ආදි සතූන්ගේ ශාරීරික කොටස්වල ආරක්ෂාව පිණීස ඇති) තද පොත්ත; දැඩි බාහිර ආවරණය (=galea).

ගේහ

නා.ප්‍ර. ගෘහය; වාසස්ථානය.

ගේහයා

නා. නුවණට අධිපති දෙවියා; ගණ දෙවියා.

ගේහසිත

වි. ගෘහ ජීවිතය හා සම්බන්ධ වූ; කාමභෝගී; පස්කම් ගුණය ඇසුරු කළ.

ගෛරික

නා.ප්‍ර. රතුපාට මොළොක් ගුරුගල් වර්ගයක්; සිවංගුරු.

ගො

1. නා.ප්‍ර. ගොනා; එළහරකා.
2. නා.ප්‍ර. ගොයා.

ගොක් අත්ත

නා. කොළ නොවිහිදුණු කහ පැහැ ළපටි පොල් අත්ත; ගොප් අත්ත.

ගොක් බඳිනවා

ක්‍රි. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතා යම් නිශ්චිත කාලසීමාවක් තුළ ඔප්පු කිරීමේ අරමුණින් ඵල දරන පොල් ගස ගොක් කොළයක් බැඳ දෙවියන්ට වෙන් කර තබා බාර වෙනවා.

ගොක්රෑන්

නා.ප්‍ර. විවිධ සැරසිලි කිරීමට හෝ සන්නිවේදනය පිණිස යෙදීමට භාවිත කරන ගොක් කොළ ඉරා සකස් කර ගන්නා සිහින් තීරුව.

ගොජ

නා.ප්‍ර. මුඛයෙන් පිට කරන නොදිරූ ආහාරය; වමනය.

ගොජර

1. නා.ප්‍ර. ගෝචර භූමිය; යෝග්‍ය ආශ්‍රය ස්ථානය.
2. (කථා.) නා.ප්‍ර. ගොදුරු රඳන තැන; බොක්ක; බඩවැල.

ගොටු අත්ත

නා. සමහර භික්ෂූන් කුඩය වෙනුවට භාවිත කරන බොකුටු තල් අත්ත.

ගොටුව

1. නා. යම්දෙයක් බහාලීමට හෝ වතුර ගැනීම සඳහා හෝ පත්‍ර කොළ ආදිය බොකු ගසා හෝ නමා සාදා ගත් භාජනයක් වැනි උපකරණය; පුටය.
2. නා. මලාව; ඔඩම; කුසලාන.
3. නා. (රෙදි, පත්‍ර, මටුලු බටපතුරු ආදිය මඟින්) බොකු හැඩයට සිටින සේ සාදා ගන්නා පෙරීමේ උපකරණය.

ගොඩ

1. වි. ගැමි පරිසරයට අයත්; පිටිසර බද.
2. (කථා.) වි. නියමිත ක්‍රමයක් නැති; ශාස්ත්‍රානුකූල නොවන.
1. නා.ප්‍ර. පොළෝ තලයේ දියෙන් යට නොවූ බිම; ගොඩබිම.
2. නා.ප්‍ර. වළකින් පිට ඇති බිම; ගොඩැලි බිම් පෙදෙස.
3. නා.ප්‍ර. වෙරළ හා සම්බන්ධ බිම් පෙදෙස; ඉවුර.
4. (කථා.) නා.ප්‍ර. ජලයේ නොගැඹුරු පෙදෙස.
5. නා.ප්‍ර. ගමකට අයත් කුඩා පෙදෙස.
6. නා.ප්‍ර. නගරයට ඈත ප්‍රදේශය; පිටිසර බද පෙදෙස; නොදියුණු පෙදෙස.
7. නා.ප්‍ර. මඩ රහිත භූමිය; ජලාශ්‍රිත නොවූ බිම.
8. නා.ප්‍ර. එක්තැන් කළ සමූහය; රාශිය.

ගොඩ එනවා

1. ක්‍රි. ජලය ඇති ස්ථානයක සිට හෝ කුඹුරක් වැනි ස්ථානයක සිට ගොඩට එනවා.
2. ක්‍රි. විපතකින්, කරදරයකින් මිදෙනවා; දුක් පීඩා අවසන් වී සහනය ලබනවා.
3. ක්‍රි. ළිඳක් පතලක් වැනි ගැඹුරු ස්ථානයක සිට ගොඩට පැමිණෙනවා.

ගොඩ කරනවා

1. ක්‍රි. ද්‍රව්‍ය රාශි වශයෙන් එක් කරනවා; ගොඩ ගහනවා.
2. ක්‍රි. කුඹුරක්, වළක්, පතහක් වැනි පෙදෙසක් පස් ආදියෙන් පුරවනවා.

ගොඩ ගසනවා

1. ක්‍රි. ගොඩක් වශයෙන් සකස් කරනවා; ඒකරාශි කරනවා; එක්කාසු කරනවා.
2. ක්‍රි. මුහුදු රැල්ලට අසු වී වෙරළට එනවා; මුහුදු, ගංගා, වැව් ආදියෙන් ගොඩට පාවී රැඳෙනවා; ගොඩට විසි වෙනවා.

ගොඩ නගනවා

1. ක්‍රි. දියෙන්, මඩෙන් හෝ වළකින් යමකු හෝ යමක් ගොඩට ගන්නවා.
2. ක්‍රි. කරදරයකින් දුකකින් මුදවනවා; (ලෙඩ රෝග ආදිය) සුව කරනවා.
3. ක්‍රි. (ගොඩනැගිලි ආදිය) ඉදි කරනවා.
4. ක්‍රි. නිම කරනවා; සම්පූර්ණ කරනවා.
5. ක්‍රි. එක්රැස් කරනවා; ගොඩ ගසනවා.

ගොඩ බසිනවා

ක්‍රි. ගුවන්යානා, මුහුදු යාත්‍රාදියෙන් පැමිණ ගොඩබිමට පා තබනවා.

ගොඩ බානවා

1. ක්‍රි. ගුවන් යානා, මුහුදු යාත්‍රාදියෙන් ගෙන ආ ද්‍රව්‍ය ආදිය ගොඩබිමට ගන්නවා.
2. ක්‍රි. ගුවන්යානා අහසේ සිට ගොඩබිමට බස්සනවා.

ගොඩ බිම

නා. ජල මට්ටමින් උස් ව මතු වී පිහිටි භූමිය; ජලයට යට නොවුණු භූමි ප්‍රදේශය.