සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 612

ගොස

1. නා. ඝෝෂය; මහත් වූ ශබ්දය; ඝෝෂාව; මහාරාවය.
2. නා. මේඝ ගර්ජනාව.

ගොසරෑ

(කථා. උඩ.) වි. රොඩුකුණු තවරාගත්; අපිරිසිදු.

ගොසරෑවා

(කථා.) නා. අපිරිසිදු තැනැත්තා.

ගොසු

වි. ඝෝෂා සහිත; මහත් වූ හඬ ඇති.

ගොහ

නා.ප්‍ර. බෙණය; ගුහාව.

ගොහාලය

1. (ජන.) නා. පැල් රැකීමේදී ආරක්ෂිත ව සිටීමට තනා ඇති මැස්ස.
2. නා. ගෙට යාබද ව පිටතින් තැනූ මඩුව.

ගොහොට්ටිය

නා. බොහෝ දෙනා එකතු ව කරන හඬනැඟීම; ඝෝෂාව; (කෝලාහලයට මෙන්) කෑගැසීම; අරගලය; කලබලය.

ගොහොදු

1. වි. මඩ වූ; අපවිත්‍ර; ගොහොරු.
2. වි. කිසි පිළිවෙළක් නැති; අවුල් වූ.

ගොහොදු කරනවා

1. ක්‍රි. මඩ කරනවා; අපිරිසිදු කරනවා.
2. ක්‍රි. අවුල් කරනවා; පිළිවෙළක් නැති කරනවා.

ගොහොරු

වි. මඩ සහිත; දියාරු මඩින් යුතු; වගුරු සහිත වූ.

ගොහොරුව

1. නා. එරෙන; මඩ වූ ස්ථානය; මඩ වගුරු බිම; ගොහොදුව.
2. (පාරිභා.) නා. සාමුද්‍රික මඩ නිධිය (=ooze).

ගොළු

1. වි. කථා කිරීමට නොහැකි; කථා නොකරන; මූග.
2. වි. නිශ්චල වූ; නොසෙලවෙන; අචල.
3. වි. මිටි; උස නොවූ; ගෝඨ.

ගොළු වත

නා. කථා නොකර සිටීමේ ව්‍රතය; මූග ව්‍රතය.

ගොළුපිළි

නා.ප්‍ර. ගොළුවා.

ගොළුබස

1. නා.ප්‍ර. ගොළුවන් තම අදහස් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම සඳහා යොදා ගනු ලබන හස්ත සංඥාදි උපක්‍රම.
2. නා.ප්‍ර. නිශ්ශබ්ද ව සිට අදහස් පැවසීම; නිහඬ ව අදහස් ප්‍රකාශ කිරීම.

ගොළුවා

නා. කථා නොකරන්නා; කීම්, බිණීම් කළ නොහැකි පුද්ගලයා; මූගයා.

ගෝ

1. නා.ප්‍ර. ගව; ගෙරි; සරක්.
2. නා.ප්‍ර. සඳ හිරු දෙදෙනා වසන්ත ඍතුවේ දී ගමන් කරති යි විශ්වාස කරන විථිය; ගෝවීථිය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. වෘෂභ ලග්නය/රාශිය.

ගෝ ධනය

නා. වස්තුවක් වශයෙන් සලකන ලද ගව සමූහය; ගව සම්පත.

ගෝකර්ණ

නා.ප්‍ර. ත්‍රිකුණාමලයට ව්‍යවහාර වූ පැරණි නමක්; ගෝණගංතොට.

ගෝකුර

1. නා.ප්‍ර. ගවයාගේ කුරය; ගව කුරය.
2. නා.ප්‍ර. ගවකුර වැදී පසෙහි හෑරෙන වළ; ගවකුර සටහන.

ගෝකුල

නා.ප්‍ර. ගව රැළ; ගව සමූහය.

ගෝග්‍රන්ථි

නා.ප්‍ර. වියළුණු ගොම; ගොම වැරටි.

ගෝඝාතක

නා.ප්‍ර. ගවයන් මරන්නා.