සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 617

ඝටා බණිනවා

ක්‍රි. ජාති, කුල, ගෝත්‍ර ආදිය සඳහන් කර බැණ වදිනවා; පරපුර සඳහන් කර අපහාස කරනවා.

ඝටාකාර

වි. කළයක් වැනි; කුම්භයක හැඩය ඇති.

ඝටාර්ථය

නා. මුළුමනින් ගත් අර්ථය; සමූහාර්ථය; ඝටිත අර්ථය.

ඝටාව

නා. රොද; සමූහය; ගළ.

ඝටිකා යන්ත්‍රය

නා. වේලාව දක්වන යන්ත්‍රය; හෝරා යන්ත්‍රය; පෑතැටිය; ඔරලෝසුව.

ඝටිකාව

1. නා. ඖෂධ පිරවූ කුඩා කළය; කුඩා භාජනය.
2. නා. බෙහෙත් ගුටිකාව; ඖෂධ ගුළිය.
3. නා. දවසින් හැටෙන් කොටසේ කාලය; සිංහල පැය; ඔරලෝසු පැයෙන් මිනිත්තු විසිහතරක කාලය.
4. නා. රථ රෝදයේ වක් අත්ත නම් කොටස.
5. නා. කල්ලි ගැහීම; කල්ලි කෙළිය.
6. නා. සඳුන්, වෙනිවැල් ආදියෙහි ගැට ගැසී ගිය කොටස; දැව ගැටය.
7. නා. (සැරයටි ආදියෙහි මුදුනෙහි යෙදූ) විල්ල; මුදුන් විල්ල.

ඝටිත

1. වි. ගළපන ලද; ගැළපෙන; මනා ව සම්බන්ධ වන.
2. වි. ගැටුණු; හැප්පුණු; ගෑවුණු; ස්පර්ශ වුණු.

ඝටී යන්ත්‍රය

නා. අතීතයේ ළිං, පතැස්, ගංගා ආදියෙන් ජලය ඇදීම සඳහා භාවිත යන්ත්‍ර විශේෂය.

ඝටෝදර

නා.ප්‍ර. කළයක් මෙන් මහත් ව ගිය බඩ; හැළිබඩ.

ඝණ්ටා කොටුව

නා. කසළ ගසා යන කාණුවලින් නිකුත් වන වායුව නළ මගින් ගෙවල් තුළට ඇතුළු වීම වළක්වන උපකරණය; සීනු බඳක් වැනි යකඩ කැබැල්ලක් යෙදූ දුර්ගන්ධ වාරක ආවරණය.

ඝණ්ටා සරාව

(පාරිභා.) නා. රසායනාගාරවල පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන පතුල නොවැසූ සීනුවක හැඩය ඇති වීදුරු භාජනය (=bell jar).

ඝණ්ටා ස්තම්භය

නා. ඝණ්ටාවක් සවි කළ කුලුන.

ඝණ්ටාකාර

වි. ඝණ්ටාවක හැඩය ගත්; සීනු බඳක ආකාර ඇති.

ඝණ්ටාරය

නා. ඝණ්ටාව.

ඝණ්ටාලෝලාව

නා. සීනුව නාද කිරීම සඳහා යොදා ගන්නා යකඩ කැබැල්ල; ඝණ්ටාවේ දිවත.

ඝණ්ටාව

නා. ලෝකඩින් සෑදූ ගැඹුරු හඬ නංවන සීනුව; ලොකු සීනුව; ඝණ්ටාරය.

ඝණ්ටිකාව

1. නා. කුඩා ඝණ්ටාව; සීනුව.
2. නා. දිව මුල පිහිටි කුඩා දිව.

ඝත

නා.ප්‍ර. ගිතෙල්; එළඟිතෙල්.

ඝතාසන

නා.ප්‍ර. (ගිතෙල් කන්නා යනු වාච්‍යාර්ථයි) ගින්න; අග්නිය; වහ්නිය.

ඝතෝදනය

[ඝත + ඕදන]
නා. ගිතෙල් යොදා පිසූ බත; ගිතෙල් බත.

ඝන

1. වි. එකට බැඳී සිටින; තද; දැඩි.
2. වි. ගැවසී ගත්; බහුල ව ඇති; ගහන; අධික; මහත්.
3. වි. තුනී නොවූ; හීන් නැති.
4. වි. අමිශ්‍ර; හුදු; තනිකර.
5. වි. දියාරු නොවූ; උකු.

ඝන අගල

නා. පරිමාව මනින මිම්මක්; දිග පළල හා උස අඟල බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.

ඝන අඩිය

නා. පරිමාව මනින මිම්මක නාමය; දිග උස අඩිය බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.

ඝන අර්ධගෝලය

නා. මුළුමනින් පිරුණු ඝන ගෝලයෙන් හරි අඩ; ඝන වූ පෘථිවි ගෝලයේ සමකයෙන් උඩ හෝ යට හෝ අර්ධය.