සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 640

චිත්‍ර කලාව

නා. සිතුවම් ඇඳීමේ කලාව; සිත්තම් කලාව.

චිත්‍ර ප්‍රක්ෂේපණය

(පාරිභා.) නා. වස්තුවක දිග, පළල, උස යන පැති තුනෙහි ම හැඩ එක ම චිත්‍රයක දැක්වීම.

චිත්‍ර වස්ත්‍රය

1. නා. සිත්තම් කළ රෙද්ද; චිත්‍රයක් අඳිනු ලැබූ වස්ත්‍රය.
2. නා. නාට්‍යයේ කථාවලට අදාළ ස්ථාන පෙන්නුම් කෙරෙන සේ ඇඳි තිර රෙද්ද.

චිත්‍ර ශාලාව

නා. පැරණි රජදරුවන්ගේ විනෝද ක්‍රීඩා සඳහා තනන ලද ශාලාව; රාජකීය විනෝද ශාලාව.

චිත්‍ර ශිල්පය

නා. ශිල්පයක් වශයෙන් කරනු ලබන චිත්‍රකර්මය.

චිත්‍ර ශිල්පියා

නා. සිත්තම් අඳින්නා; සිත්තරා.

චිත්‍රකථික

නා.ප්‍ර. විසිතුරු ලෙස කථා කරන්නා; චතුර දේශකයා.

චිත්‍රකාරයා

නා. සිතියම් අඳින්නා; සිත්තරා.

චිත්‍රණය

නා. සිතුවම් ඇඳීම; සිත්තම් කිරීම.

චිත්‍රපටය

1. නා. සිනමාව; චලචිත්‍රය; චිත්‍රපටිය.
2. නා. සිතුවම් කළ රෙද්ද; චිත්‍ර වස්ත්‍රය.

චිත්‍රය

1. නා. සිතුවම; සිත්තම.
2. නා. විසිතුරු පාට; විචිත්‍ර වර්ණය.
3. නා. අහස.
4. නා. හින්දු භක්තිකයකුගේ නළලත ඇඳි ලාංඡනය.

චිත්‍රවධ

නා.ප්‍ර. නොයෙක් ආකාරයෙන් පමුණුවන ශාරීරික වධ හිංසා.

චිත්‍රාක්ෂර

[චිත්‍ර + අක්ෂර]
නා.ප්‍ර. රූපවලින් සෑදුණු අකුරු; අකුරු වශයෙන් භාවිත කළ චිත්‍ර; චිත්‍ර අකුරු.

චිත්‍රිණී

නා.ප්‍ර. දේහ ලක්ෂණ හා කාම විද්‍යාවන් අනුව දක්වා ඇති සුන්දර කාන්තා ප්‍රභේද සතරින් එකක්.

චිත්‍රිත

1. වි. සිත්තම් කළ; අඳිනු ලැබූ.
2. වි. විසිතුරු කරන ලද.
3. වි. තිත් ගැසුණු; ලප හෝ ලාංඡන ඇති.

චිත්‍රීකෘත

1. වි. ගරු කරන ලද; පුදනලද.
2. වි. සරසන ලද; අලංකාර කරන ලද.

චිති

1. නා.ප්‍ර. ගොඩ ගසන ලද දෙය.
2. නා.ප්‍ර. දර සෑය.
3. නා.ප්‍ර. ආත්මය.

චින්තකයා

නා. විශේෂ චින්තන ශක්තිය ඇති තැනැත්තා; දාර්ශනිකයා.

චින්තනය

1. නා. සිතීම; කල්පනාව; විමර්ශනය.
2. නා. අදහස; සිතුවිල්ල.
3. නා. නුවණින් සලකා බැලීම; විමසීම; විමර්ශනය; භාවනාවේ යෙදීම.
4. (පාරිභා.) නා. සංකල්පනය; තත්ව විචාරය (=philosophy).

චින්ත්‍ය

වි. සිතා ගත හැකි.

චින්තා ඝටය

නා. සිතූ පැතූ දේ දෙතැයි සැලකෙන දිව්‍යමය කළය; භද්‍රඝටය.

චින්තාකවි

නා.ප්‍ර. නිර්මාණ ශක්තියෙන් යුත් කවියා.

චින්තාකුල

[චින්තා + ආකූල]
වි. සිත් අවුල් වූ; අවුල් සිත් ඇති.

චින්තාපර

වි. කනගාටුවට පත්; සිත් තැවුලෙන් පසු වන.