සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 639

චිත්තසමුට්ඨාන

වි. සිත නිසා හටගන්නා; සිතින් උපදනා.

චිත්තාකර්ෂණය

[චිත්ත + ආකර්ෂණය]
නා. සිත ඇද ගැනීම; මනස්කාන්තබව.

චිත්තාකෘතිය

[චිත්ත + ආකෘතිය]
නා. කිසියම් වස්තුවක් පිළිබඳ ව සිතින් තනා ගන්නා රූපය.

චිත්තාධීන

[චිත්ත + අධීන]
වි. සිතට ම යටත්; සිත විසින් ම පාලනය කරනු ලබන.

චිත්තානුකූල

[චිත්ත + අනුකූල]
වි. සිතට එකඟ ව පවතින; සිතට ගැළපෙන.

චිත්තානුරූප

[චිත්ත + අනුරූප]
වි. සිතට අනුකූල වූ; සිතට එකඟ වූ.

චිත්තානුවර්ති

[චිත්ත + අනුවර්ති]
නා. සිත අනු ව පවත්නා.

චිත්තාභ්‍යන්තරය

[චිත්ත + අභ්‍යන්තරය]
නා. සිත ඇතුළත; ඇතුළු සිත.

චිත්තාභිරමණය

[චිත්ත + අභිරමණය]
නා. සිත මැනවින් ඇලවීම සිත වෙසෙසින් පිනවීම.

චිත්තාභිරාම

[චිත්ත + අභිරාම]
වි. සිත ඉතා සතුටු කරන; මනහර.

චිත්තාභිලාෂය

[චිත්ත + අභිලාෂය]
නා. බලවත් කැමැත්ත; සිතේ තද ආශාව.

චිත්තාලස්‍යය

[චිත්ත + ආලස්‍යය]
නා. සිතේ අලසබව; සිතේ මැළිබව, උදාසීනබව.

චිත්තාශාව

[චිත්ත + ආශාව]
නා. සිතේ කැමැත්ත; සිතේ ඇල්ම; මනදොළ.

චිත්තාසංවරය

[චිත්ත + අසංවරය]
නා. සිතේ නොහික්මුණුකම.

චිත්තාස්වාදය

[චිත්ත + ආස්වාදය]
නා. සිතින් විඳිනා සතුට.

චිත්තාහ්ලාදය

[චිත්ත + ආහ්ලාදය]
නා. සිතේ ඇති වන බලවත් ප්‍රීතිය; අමන්දානන්දය.

චිත්තෝන්නතිය

[චිත්ත + උන්නතිය]
1. නා. සිත්හි ක්‍රියාකාරී බව.
2. නා. සිත්හි උඩඟුබව.

චිත්තෝන්මාදය

නා. සිත්හි උමතුව; සිහිමුළාව.

චිත්තෝපක්ලේශ

නා.බහු. සිත කිලිටි කරන ධර්ම, ලෝභ, ද්වේශ, මෝහ යන කෙලෙස් ධර්ම.

චිත්‍ර

1. වි. නානා වර්ණයෙන් යුක්ත; විසිතුරු.
2. වි. දීප්තිමත්; කාන්තිය විහිදුවන.
3. වි. විවිධ; නානා ප්‍රකාර.
4. වි. තිත් සහිත; පුල්ලි විහිදන.
5. වි. අද්භූත; විස්මය ජනක.

චිත්‍ර කථාව

නා. චිත්‍ර අනුසාරයෙන් ඉදිරිපත් කරන කථාව.

චිත්‍ර කදාව

(පාරිභා.) නා. මැජික් ලත්තෑරුමෙන් ප්‍රක්ෂේපණය කරනු පිණිස රූපයක් සහිත වීදුරු තහඩුව (=lantern slide).

චිත්‍ර කරනවා

1. ක්‍රි. ලෙළවනවා; හරඹ කරනවා.
2. ක්‍රි. සිතුවම් අඳිනවා.

චිත්‍ර කර්මය

නා. සිතුවම් ඇඳීම; සිත්තම් කලාව.