සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 669

ජවනයා

නා. අශ්වයා.

ජවනිකාව

1. නා. තිරය; කඩතුරාව.
2. නා. නාට්‍යයක රඟපෑම් කොටස; නිරූපිත කොටස.

ජවය

1. නා. (ගමන් කිරීමෙහි, ධාවනයෙහි, වැඩ කිරීමෙහි) ඉක්මන්බව; වේගය; ශීඝ්‍රතාව.
2. නා. (කාය) ශක්තිය; (සවි) බලය.
3. නා. නියමිත කාලයක් තුළදී නිකුත්කරන ශක්ති ප්‍රමාණය.

ජවරෝදය

(පාරිභා.) නා. ඇන්ජිමක වේගයෙහි හෝ කම්පනයෙහි හෝ සමතුලනයක් ඇති කිරීම සඳහා දඟර කඳකට සවි කරන බර රෝදය (=flywheel).

ජවාධිකයා

1. නා. අධික ධාවන වේගයෙන් යුත් තැනැත්තා.
2. නා. වේගයෙන් දුවන අශ්වයා.

ජවුසන්

1. නා.ප්‍ර. මුස්ලිම් ජනයාගේ ආගමික උත්සවයක් සම්බන්ධ නැටුම විශේෂයක්.
2.(කථා.) නා.ප්‍ර. නුසුදුසු අන්දමට විනෝද වෙමින් කාලය ගතකිරීම; විගඩම.

ජසය

(කථා.) නා. පංච පෙතේ මුදුන; අවසන් කොටුව; ජබය.

ජහජරාව

(කථා.) නා. ඉතා අපිරිසිදු දෙය; කුණු වී පල්වෙමින් පවතින වී දෙය; දුර්ගන්ධ ද්‍රව්‍යය.

ජහනය

නා. ඉවත් කිරීම; දුරු කිරීම; ප්‍රතික්ෂේප කිරීම.

ජහර

1. (කථා.) නා. ජරා වූ; අපිරිසිදු.
2. නා. දිරාපත්; ඔතෑනි; දුර්වල.

ජහරි

වි. කෑදර; බඩජාරි.

ජහරියා

නා. කෑදරයා; අහරට ගිජු තැනැත්තා; බඩජාරියා.

ජළ මඩුල්ල

නා. හැඩපලු ගෙතුණු කෙස් වැටිය; ජටා මණ්ඩලය; දළ මඬුල්ල.

ජ්වරය

නා. උණ රෝගය.

ජ්වලන

1. නා. බබළන; දිලිසෙන.
2. නා. දැල්වෙන; ඇවිළෙන.
3. නා. වේගයෙන් ගිනි ගන්නා; ක්ෂණික ව ඇවිළෙන; වහා දහනය වන.
4. නා. දැවිල්ල සහිත; දාහ ගතියෙන් යුත්.

ජ්වලන අංකය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයකට ගිනි ඇවිළීමට අවශ්‍ය වාෂ්ප නිකුත් වන අවම උෂ්ණත්ව මට්ටම (=flash point).

ජ්වලන ප්‍රහාරය

(පාරිභා.) නා. අන්තර් දහන එන්ජිමක මිශ්‍රණය ගිනි ගැන්වීමේ හෙවත් බලය නිපදවීමේ පහර (=firing stroke).

ජ්වලනය

1. (පාරිභා.) නා. ගිනි ගැනීම; දැල්වීම.
2. නා. සිලින්ඩරයක් තුළ ඇති පැට්‍රල් වායු මිශ්‍රණයට (විද්‍යුත් පුලිඟු මගින්) ගිනි ගැන්වීම; ස්ඵෝටක ද්‍රව්‍යයකට ගිනි ඇවිළීම.

ජ්වලිත

1. වි. පත්තු වුණු; දැල්වුණු; ඇවිළුණු.
2. වි. බැබළුණු; දිලිසුණු.
3. වි. රත්වූ; උණුසුම් වූ·
4. (ක්‍රිස්ති.) වි. ඉතා භක්තිමත්.

ජ්වලෝපච්ඡේදය

නා. ගිනිදැල් නැති වීම; ගින්.

ජ්වාලය

1. නා. ගිනි දැල්ල; ගිනි සිළුව.
2. නා. ගිනිමැලය.

ජ්‍යාමිතිය

නා. අවකාශයෙහි (රේඛා, පෘෂ්ඨ, ඝන ආදි) වස්තු පිළිබඳ ලක්ෂණ හා සම්බන්ධතා හා ආශ්‍රිත විද්‍යාව; රේඛා ගණිතය.

ජ්‍යාය

1. (ප්‍ර. යෙදේ) නා. දුන්නෙහි ලණුව; දුනු දිය.
2. නා. පොළොව; පෘථිවිය.
3. (පාරිභා.) නා. වෘත්තයක කොටසක් වෙන් කරන ඍජු රේඛාව.

ජ්‍යේෂ්ඨ

1. වි. මුල් වූ; අග්‍ර; අධිපති.
2. වි. වයසින් වැඩි වූ; වැඩිමහල්; දෙටු; වැඩිහිටි.
3. වි. උතුම්; උසස්; ශ්‍රේෂ්ඨ; උත්කෘෂ්ට.