සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 693

ඩැහි අඬුව

(පාරිභා.) නා. යමක් අල්ලා ගැනීම, ඇණ ආදිය ඉවතට ඇදීම, සඳහා පාවිච්චි කරන අඬුව. (=pincer, forceps).

ඩැහිය

(පාරිභා.) නා. කෙස් ගැලවීම ආදි සියුම් කටයුතු සඳහා ගනු ලබන කුඩා අඬුව.(=tweezers).

ඩිංගිත්ත

(කථා.) නා. ඉතා ටික; අල්ප මාත්‍රය; ඇබිත්ත.

ඩික්ටෆෝනය

(පාරිභා.) නා. කථා තැටි ගත කිරීම හා ඒ කතා ප්‍රතිනිෂ්පාදනය කිරීම යන දෙකම සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරවන යන්ත්‍රයක් (=Dictaphone).

ඩික්පරීක්ෂාව

(පාරිභා.) නා. ආරක්තක උණ වැලඳීමට යමකු කෙරෙහි ඇති ග්‍රාහිතාව බැලීමට කරනු ලබන පරීක්ෂාව (=dick test).

ඩිකැන්ටරය

නා. පැන් හෝ වයින් ආදිය දමා මේසය මත තබන බඳ මහත වීදුරු බෝතල් විශේෂයක්; වීදුරු ගුරුලේත්තුව.

ඩිකිරිය

(කථා.) නා. විනිශ්චයකරුවකු විසින් දෙනු ලබන නීත්‍යානුකූල ආඥාව.

ඩිප්තීරියාව

නා. උගුරේ ශ්ලේෂ්මල පටලයේ සෑදෙන බෝවන රෝගයක්; ගලපටලය.

ඩිප්නොයි

නා.ප්‍ර. පෙනහලු හා කරමල් යන ශ්වසන පද්ධති දෙක ම ඇති මත්ස්‍ය පවුලක්.

ඩිප්ලොපෝඩා

(පාරිභා.) නා.ප්‍ර. හැකරැල්ලන් වැනි බහුපදික සතුන් අයත්වන සත්ත්ව ගණය.

ඩිප්ලෝමා

නා.ප්‍ර. විශ්වවිද්‍යාලයකින් හෝ අන්‍ය උසස් අධ්‍යාපන ආයතනයකින් නියමිත විභාගයක් සමත් වූවකුට ප්‍රදානය කෙරෙන සහතිකය.

ඩිපෝව

1. නා. යම් කාර්ය සංවිධානයක මධ්‍යස්ථානය; ගබඩාව; කඳවුර; ප්‍රදේශීය මධ්‍යස්ථානය.
2. නා. වාහන ධාවනයෙන් පසු නවතා තබන ස්ථානය.

ඩිමයි

(පාරිභා.) නා.ප්‍ර. කඩදාසි නිෂ්පාදනයේ දී කොළයක දිග සහ පළල පිළිබඳ සම්මත ප්‍රමාණයක් (=demy).

ඩිම්බ කවචය

නා. ඩිම්බයේ වැස්ම; ඩිම්බ ආවරණය.

ඩිම්බ නිධායකය

1. (පාරිභා.) නා. ඩිම්බ නිසි තන්හි තැබීම සඳහා කෘමින් සතු ව ඇති විශේෂිත අවයවයක්.
2. නා. මත්ස්‍යයන්ගේ ප්‍රජනනක විවරයෙහි නාලාකාර ලෙස දික් වූ කොටස.

ඩිම්බ නීහරණය

නා. ඩිම්බය ඩිම්බකෝෂයෙන් බැහැරලීම; ඩිම්බ මෝචනය.

ඩිම්බ පටලය

(පාරිභා.) නා. ඩිම්බය වටා ඇති ඝන තද සිවිය.(=egg membrane).

ඩිම්බ ප්‍රණාලය

නා. ඩිම්බකෝෂයේ සිට පිටතට ඩිම්බ ගෙන යන නාලය; පැලෝපියන් නාලය.

ඩිම්බ බන්ධය

1. නා. (උද්භි.) ඩිම්බකෝෂ බිත්තියේ ඇතුළත දික් අතට වැඩුණු දෙපේළියේ පටක මියර (=fallopian tube).
2. (සත්ව.) කලල බන්ධය; වැදෑමහ (=placenta).

ඩිම්බ මෝචනය

නා. ක්ෂීරපායින්ගේ ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටතට ඊමේ ක්‍රියාවලිය; අණ්ඩ මෝචනය (=ovulation).

ඩිම්බ රජ්ජු

නා.බහු. බිත්තරයක කටුවට කහමදය සම්බන්ධ කරන දඟර සහිත ඇඹරුණු ඝන
ඇල්බියුමන් රැහැන්.

ඩිම්බ විසර්ජකය

නා. ඩිම්බ හෙවත් බීජ නිකුත් කිරීමේ ඉන්ද්‍රියය; ඩිම්බ විසුරුවා හැරීමේ අවයවය (=over jector).

ඩිම්බ වෘන්තය

නා. ඩිම්බයක් ඩිම්බ බන්ධයත් සම්බන්ධ කරන කුඩා නටුව.

ඩිම්බ වෘෂණය

නා. ස්ත්‍රී බීජ හා ශුක්‍රාණු යන දෙක ම නිපදවන ප්‍රජනන ග්‍රන්ථිය.