සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 694

ඩිම්බක

(පාරිභා.) නා.ප්‍ර. කෘමි පැටවා; කෘමි පෝතකයා (=nymph).

ඩිම්බකාරකය

නා. ඩිම්බකෝෂයේ ජන්මාණු සෛල වැඩෙන හා මෝරන ප්‍රදේශය; ජර්මේරියම.

ඩිම්බකෝෂය

1. (සත්ව.) නා. ස්ත්‍රී ප්‍රජනන සෛල තැන්පත් ව ඇති පැස; ඩිම්බ නිපදවෙන අවයවය.
2. (උද්භි.) නා. ශාකයක ඩිම්බ අන්තර්ගත වූත් ඡායාංගයෙහි විශාලිත වූත් කොටස්; මලක කර්ණිකාවෙහි මුල පිහිටි බීජ අඩංගු කොපුව.

ඩිම්බධාරකය

නා. බීජ තැන්පත් ව ඇති මඩිය; බිත්තර කැප්සූලය.

ඩිම්බපීත

නා.ප්‍ර. බිත්තරයක කහමදයේ පැහැය; රතට හුරු තද කහපාට.

ඩිම්බය

(පාරිභා.) නා. පරිණත වූ ඡායා ජන්මාණු සෛලය; බිත්තරය අණ්ඩය; බීජ ශාකයක මහා බීජාණුධානිය (=egg ovule).

ඩිම්බාණුව

නා. ජීවියකු හටගැනෙන බීජයේ මුල් සැටිය; මාතෘ බීජය.

ඩිම්බාධාර කෝෂ්ඨය

නා. (පාරිභා.) ඩිම්බාධාරයේ ඩිම්බ තැන්පත්වීම සඳහා ඇති කුඩා මඩි වැනි කොටස.

ඩිම්බාධාරය

(පාරිභා.) නා. ඩිම්බකෝෂය. (=ovary).

ඩිම්බාවරණය

[ඩිම්බ + ආවරණය]
(පාරිභා.) නා. ඩිම්බ කුක්ෂිය වැසී යන පරිදි වැඩෙන ආවරණය හෙවත් වැස්ම (=ootheca).

ඩියුට්රියම්

(පාරිභා.) නා.ප්‍ර. බැර හයිඩ්රජන්; පරමාණුවක ස්කන්ධය දෙකක් වූ හයිඩ්රජන් සමස්ථානිකය (=deuterium).

ඩියුට්‍රෝන්

නා.ප්‍ර. බර පරමාණුවේ හෙවත් ඩියුට්රියම් පරමාණුවේ න්‍යෂ්ටිය.

ඩිස්කවුන්ට්

නා.ප්‍ර. බඩුවක් විකිණීමට නියමිත මුදලින් අඩු කරන කොටස; වට්ටම.

ඩිස්ට්‍රිබියුටරය

නා. අභ්‍යන්තර දහන එන්ජිමක ජ්වලන පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාකාරී උපකරණය.

ඩිස්ටැම්පර්

නා.ප්‍ර. බිත්තිවල ආලේප කරන සායම් වර්ගයක්.

ඩිස්ටිල් වතුර

නා. හුමාලය ඝනීභූත කොට පෙරා ගත් දිය (=distilled water).

ඩිස්පැන්සරිය

නා. බටහිර ඖෂධ බෙදා දෙන තැන.

ඩී.එන්.ඒ.

නා.ප්‍ර. ඩිඔක්සිරයිබෝන්‍යුක්ලෙයික් ඇසිඩ් යන්නෙහි කෙටි නාමය; සෑම ජීවියෙකුගේ ම පාහේ වර්ණ දේහවල තිබෙන ජාන ප්‍රවෘත්ති ගෙනයන ස්වයං පාලිත පිටපත් සාදා ගැනීමේ හැකියාව ඇති ද්‍රව්‍යය; D.N.A. Deoxyribonucleic acid.

ඩීන්

1. නා.ප්‍ර. (ක්‍රිස්ති.) නායක පූජා ප්‍රසාදිවරයා.
2. නා.ප්‍ර. විශ්වවිද්‍යාලයක පීඨාධිපති.

ඩීවාර් පලාස්කුව

(පාරිභා.) නා. තාප හුවමාරුව වැළැක්වීම පිණිස අතරමැදි වාතය ඉවත් කළ රිදී ගෑ බිත්ති දෙකකින් යුක්ත වන පරිදි තැනුණු බඳුන.

ඩීසල්

නා.ප්‍ර. පැට්‍රෝලියම් ආසුත කිරීමෙන් ලබා ගන්නා කළු තෙල්.

ඩුප්ලිකේට්

නා.ප්‍ර. දෙවන පිටපත; භාණ්ඩයක හොර පිටපත.

ඩෙංගි උණ

නා.ප්‍ර. මදුරුවන් මගින් බෝවන උණ විශේෂයක්; සන්ධි සංජ්වරය.

ඩෙකපොඩා

(පාරිභා.) නා.ප්‍ර. අඬු දහයක් ඇති කකුළුවන් ඉස්සන් වැනි සතුන්ද, අත් දහයක් ඇති දැල්ලන් වැනි සතුන් ද අයත් ගෝත්‍රය (=decapoda).

ඩෙකමිටරය

නා. මෙට්‍රික් ක්‍රමය අනු ව මීටර දහයක දිග ප්‍රමාණය ඇති මිනුම් ඒකකය (=decametre).