සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 789

දණ්ඩනීය

වි. දඬුවම් ලැබිය යුතු; දඬුවම් වසයෙන් කරන.

දණ්ඩපර්ණක

(පාරිභා.) නා.ප්‍ර. කොළයක හැඩහුරුකම ඇති ව කොළයක් මෙන් ක්‍රියාකාරී වන පැතලි අතු සහිත ශාකය; කොළ බඳු දඬු ඇති පැළෑටිය.

දණ්ඩමණික

නා.ප්‍ර. නඟුලක් සේ පතිත වන අකුණ; හෙණය; නවවිධ අකුණුවලින් එකකි.

දණ්ඩව්‍යුහය

නා. බළ මුළුවක් පෙළ ගැස්වීම.

දණ්ඩවාල

(කථා.) වි. වුවමනාවට වඩා කඩිසර; තැන්පත් නොවූ; නොහික්මුණු.

දණ්ඩාග්නි

[දණ්ඩ + අග්නි]
නා.ප්‍ර. ලීයෙන් උපදවන ගින්න; අරණි ගින්න; දඬු දෙකක් ගැටීමෙන් නිපන් ගින්න.

දණ්ඩාඩම්බරය

නා. සේනා බළ සම්පත් නිසා සතුරන් ජයගත හැකි ශක්තිය හේතු කොට ගෙන රජකු තුළ පහළ වන මානය.

දණ්ඩාණු

[දණ්ඩ + අණු]
(පාරිභා.) නා.ප්‍ර.රෝගකාරක ක්ෂුද්‍ර විෂ බීජ වර්ගයක්.

දණ්ඩාදාන

[දණ්ඩ + ආදාන]
නා.ප්‍ර. දඬුමුගුරු ගැනීම.

දණ්ඩාභිහත

[දණ්ඩ + අභිහත]
වි. පොලු පහර ලත්; මුගුරු පහර ලැබූ.

දණ්ඩායමාන

[දණ්ඩ + ආයමාන]
වි. දඬුකඩක් වැනි; රිටක් වැනි වූ.

දණ්ඩාර්හ

[දණ්ඩ + අර්හ]
වි. දඬුවමට භාජන විය යුතු; දඬුවම් විඳීමට සුදුසු.

දණ්ඩාහත

වි. දණ්ඩෙන් පහර ලත්.

දණ්ඩිත

වි. දඬුවම් කරන ලද.

දණ්ඩියම

1. නා. බර උසුලන හෝ බර මෙහෙයවන හෝ ආධාරකය; උත්තෝලනය; ලීවරය.
2. නා. නැටුම් පුහුණු කිරීමේ දී ආධුනිකයනට දෑතින් අල්ලා ගැන්මට තිරස් ව යොදා ඇති දණ්ඩ.

දණ්ඩේශ

නා.ප්‍ර. දණ්ඩ නායක; දඬුවම් පැමිණවීමේ බලයලත් නිලධරයා; විනිශ්චයකාරයා.

දණිපණි ගානවා

1. ක්‍රි. අමාරුවෙන් යෑම් නැඟී සිටීම් ආදිය කරනවා; අතින් පයින් වාරු ගන්නවා.
2. ක්‍රි. ඉක්මනින් නැඟී සිටිනවා.

දඬ

1. නා. දිග දැව කැබැල්ල; දණ්ඩ.
2. නා. දඬුවම.
3. නා. කෝටුව; කෙවිට.
1. වි. ලී මුවා; ලීයෙන් සෑදූ.
2. වි. ලොකු; විශාල.

දඬු අඬුව

නා. දැව හා යකඩ කර්මාන්තයෙහි දී යමක් අවශ්‍ය පරිදි නොසෙල් වී හකු අතර තබා ගැනීමට භාවිත කරන ලොකු අඬුව.

දඬු අඹරනවා

ක්‍රි. (නූල් සෑදීම සඳහා) කපු පුළුන් (වලු කර) අඹරා ගන්නවා.

දඬු කරාමය

(පාරිභා.) නා. දැව හෝ දඬු හිර කරන උපකරණයක්.

දඬු ගසනවා

ක්‍රි. දඬුකඳ නම් විලංගුවෙහි සිරකර තබනවා; තුරංගුවෙහි සිර කරනවා.

දඬු ගානවා

ක්‍රි. ලීයකින් කලත්තනවා; කූරු ගානවා; හැඳි ගානවා.

දඬු නැමුම් අච්චුව

(පාරිභා.) නා. යකඩ වානේ ආදි දඬු අවශ්‍ය හැඩයට නමා ගැනීම සඳහා පිළියෙල කළ අච්චුව.