සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 790

දඬු පන්නය

නා. යම් කාර්යයක් සඳහා අවශ්‍ය ලී දඬු ප්‍රමාණය; දැව භාණ්ඩ හෝ දැව උපකරණ.

දඬු පියුම

නා. එක ම දණ්ඩෙහි සෑදෙන පෙති තට්ටු හතකින් යුත් විශාල නෙළුම් මල; සත්බුමු පියුම.

දඬු මඩුව

1. නා. (වඩුකම් කරන තැන; වඩුමඩුව යන අර්ථයි) මහනුවර රාජ සමයේ දී රාජකීය වඩු කර්මාන්ත ශාලාව හැඳින් වූ නාමය.
2. නා. රජුගේ දැව මඩුව; දැව රැස් කොට තැබූ ගොඩනැඟිල්ල.

දඬු මාරුව

(කථා. උඩ.) නා. ඒ දඬු විශේෂයක්; ගං හෝ ආදියෙන් එතර වීමට වැල්වලින් හා ලීවලින් තනනු ලබන පාලම.

දඬු මොනරය

නා. ලංකාධිපති රාවණ රජුට තිබිණැයි සඳහන් වන (දැවමුවා මොනරකුගේ හැඩයෙන් යුත්) අහස් යානාව.

දඬු ලීය

(කථා.) නා. දඩාවතේ යන ගොවිපළවලට වැදීම හරකුන් වළකනු පිණිස උන්ගේ බෙල්ල හරහා බඳින ලීය.

දඬු වැට

1. නා. දැව දඬු ආදියෙන් තැනූ වැට; ලී වැට.
2. නා. හුළු අත්ත; ගිනිහුළ; පන්දම.
3. නා. යකඩ දඬු සිටුවා තැනූ වැට; ගරාදි වැට; රේලිම.

දඬු සරක්කුව

(කථා.) නා. ඉම්වැට; ගව ආදි සතුන්ගෙන් හේන් රැක ගැනීම සඳහා ලී දඬුවලින් සාදා ගැනෙන වැට.

දඬු හිණ

නා. පුරාණයේ දී සිවුරු මැසීම් ආදියට උපයෝගී කර ගත් උපකරණයක්; සිවුරේ ප්‍රමාණයට සතර වටේට ලී හතරක් බැඳ තනාගත් සිවුරු අච්චුව.

දඬු හෙය

නා. ඒදණ්ඩ; සේතුව.

දඬුකඳ

නා.ප්‍ර. පුරාණයෙ අපරාධකරුවන්ට දඬුවම් දුන් උපකරණයක්.

දඬුකොට්ට

නා.ප්‍ර. ලී කොටය; දඬුකඩ.

දඬුකොස්

නා.ප්‍ර. මඳක් පැසුණු කොස්.

දඬුකෝඩු

නා.ප්‍ර. පළමුවරට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා.

දඬුපත්

1. නා.ප්‍ර. ලී; දැව; ලී කඳන්.
2. නා.ප්‍ර. දඬු; පොලු මුගුරු.
3. නා.ප්‍ර. දැව කඳක් යොදා සාදා ගන්නා ලද්ද; පහුරක් වැනි දෙය.

දඬුපත් බානවා

ක්‍රි. මුගුරින් තළනවා; දණ්ඩෙන් පහර දෙනවා.

දඬුපිටින් ඉන්නවා

ක්‍රි. නිරුවතින් සිටිනවා; නග්න ව ඉන්නවා.

දඬුබිත්ත

නා.ප්‍ර. දඬුවලින් කරන ලද බිත්තිය; වරිච්චි බිත්තිය.

දඬුමැස්ස

නා. ලෑලි අතුරා සකස් කළ ඇඳ.

දඬුමුවා

වි. ලීයෙන් තනන ලද; දාරුමය.

දඬුව

1. නා. දණ්ඩ; මුගුර; කෝටුව.
2. නා. අත්පා යන අගපසඟ.
3. නා. සිරුර; කය.
4. නා. නූල් සඳහා කටින ලද කපු.
5. නා. වීණා දණ්ඩ.

දඬුවම

නා. වරදකරුවකු හික්මවීම සඳහා කරන අච්චු දීම; වරදක් කළ කෙනෙකුට සිදුකරන (තැළීම්, පෙළීම්, සිරගෙයි ලෑම්, දඩගැසීම් ආදි) ක්‍රියාව.

දඬුවම් පනත

(පාරිභා.) නා. රාජාපරාධයක් කළ රට වැසියකුගේ අයිතිවාසිකම් අහිමි කරන පනත.

දඬුවැට පහන

නා. දණ්ඩක රිටක සවි කළ ප්‍රදීපය; දඬුඅග දල්වන පහන/පන්දම; යෂ්ටි ප්‍රදීපය.

දඬුවැල් බෑය

නා. මී මැසි වර්ගයක් විසින් ගස් අතුවල බඳින කුඩා මීය.