සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 836

දියරැළ

නා.ප්‍ර. විශාල ජලස්කන්ධයක මතු පිට මුදුන්වැටි හා අවනම්න සදමින් ඉහළට නඟිමින් ද පහළට බසිමින් ද චංචල වන ජලය; ජල තරඞ්ගය.

දියරෑන

1. (කථා.) නා. අමුඩය ඉනෙහි රැඳවීම පිණිස බඳින රැහැන් පට; දිය ලණුව.
2. නා. ඔරුවේ වියල එහා මෙහා නොයන පිණිස යොදන යොත.

දියරිකිලි

නා.ප්‍ර. දිය සීරාව වැඩි වීම නිසා ගසක කඳින් ඇදෙන පුහු රිකිලි; මඳක් හැදී ඇට්ටර වන බොරු අතු.

දියරොන්

නා.ප්‍ර. වේගවත් දියපහරක් යමක වැදීම නිසා හෝ ඉහළ සිට වැටීම නිසා හෝ විහිදී යන කුඩා වතුර බින්දු සමූහය; ජල රේණු.

දියලුණු

නා.ප්‍ර. ආහාරයට යොදා ගන්නා ලුණු.

දියවටන්

1. නා.ප්‍ර. කැසිකිළිය.
2. නා.ප්‍ර. මූත්‍ර මාර්ගය; පුරුෂ ලිංගය.

දියවඩන

1. වි. ජය වර්ධනයට පත් කරන.
2. වි. දිය හෙවත් ජලය පූජා කරන, පිරිනමන, ඉදිරිපත් කරන.

දියවඩන නිලමේ

1. නා.ප්‍ර. සිංහල රජ සමයෙහි රජුට අත කට සේදීම සඳහා දිය පිළිගැන්වීමේ නිලය දැරූ නිලධාරියා.
2. නා.ප්‍ර. දන්ත ධාතුන් වහන්සේගේ ගිහි භාරකරු; දළදා මාලිගාවේ පාලන කටයුතු භාර ව ක්‍රියා කරන උසස් ගිහි නිලය.

දියවතුර

නා.ප්‍ර. ගලා යන සැඩ දිය පහර.

දියවන්නා

නා.ප්‍ර. ඇළ; ඔය.

දියවර

1. නා.ප්‍ර. ජලය දිය යුතු වාරය; දිය සැපයෙන වාරය; දිය මුරය.
2. නා.ප්‍ර. ජල ධාරාව; ජලස්කන්ධය.
3. නා.ප්‍ර. ජලය; වතුර.
4. නා.ප්‍ර. වී ගොවිතැන සඳහා වැව හා අමුණකින් ලබාගන්නා ජලය වෙනුවෙන් වැව් හෝ අමුණු හිමියාට ගොවිතැන් ආදායමෙන් ගෙවන කොටස.
වි. දියාරු; ද්‍රව වූ.

දියවර කරනවා

ක්‍රි. දියෙන් තෙත් කරනවා; තෙමනවා.

දියවරණ

(පාරිභා.) වි. දිය උරා ගැනීම හෝ දිය නිසා වෙනස් වීම් හෝ සිදු නොවන; ජලයට ඔරොත්තු දෙන; ජලරෝධක; ජලවාරක (=water proof).

දියවලාකඩ

නා.ප්‍ර. වැසිවලාකුළු කැබැල්ල.

දියවළ

1. නා. දිය පිරුණු ආවාටය; ජලය සහිත වළ.
2. නා. ගංගා හොය ආදියෙහි ගැඹුරු තැන; හොකරය.

දියවාන

නා. වැවක වැඩි ජලය උතුරා පිටට වහනය වන සොරොව්ව.

දියවැඩ

නා. ලෝවැඩ; ලෝකයාගේ යහපතට කරන ක්‍රියාව; ලොවට හිත වූ කාර්යය.

දියවැඩියාව

නා. බහු-මූත්‍ර රෝගය; මධුමේහය.

දියවැද්දා

(කථා. උඩ.) නා. මසුන් අල්ලන්නා; මස් මරන්නා.

දියවැල

1. නා. නොකඩවා ගලා බස්නා දිය දහර; ජලධාරාව; ජලාවලිය.
2. නා. පෘථිවි භ්‍රමණය හා හුළං නිසා සාගර දියෙහි මතුපිට දිය ඇදී යාමෙන් ඇති වන ඕඝය.
3. නා. ජලාකෘතිය විදහාපාන චිත්‍රකලා මෝස්තරයක්.

දියවිත

1. නා. දිය නෑමට භාවිත කරන බඳුන.
2. නා. දිය ගොටුව; දිය භාජනය.

දියවුරු

[දිය + අවුරු]
වි. ජලය පිරවූ.

දියවුරු කොට්ටය

නා. කොට්ටයක ආකාරයට රබර්වලින් සාදා ජලය පිරවූ උපකරණය.

දියස

[දිය + ඇස]
නා. ලොවට ඇසක් වන හිරු; සූර්යයා.