සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 835

දියබත් වෙනවා

1. ක්‍රි. දියෙන් නෑවෙනවා; පෙඟෙනවා.
2. ක්‍රි. (නැව් ආදිය) වතුරේ ගිලී විනාශ වෙනවා.

දියබඳ

නා. විෂ්ණු දෙවි.

දියබඳිනවා

ක්‍රි. (කුඹුරෙහි) ජලය රැස්කර තබනවා; කුඹුරේ වක්කඩ බඳිනවා.

දියබප්

නා.ප්‍ර. (ලොවට පියෙකු බඳු වූ තැනැත්තා) බුදුරජාණන් වහන්සේ.

දියබරණ

නා. දියබරියා; දියනයා.

දියබස්නාව

1. නා. ජලය බසින පැත්ත.
2. නා. ලියදි පෙළක පහළින් ම පිහිටි ලියද්ද.
3. නා. (වැවක) සොරොව්ව.
4. නා. වතුර බැස යන කාණුව.
5. නා. දියපාර; ඇළ; දොළ.
6. (කථා.) නා. වහලේ පහළ කෙළවර.

දියබැළ

1. නා.ප්‍ර. කුලියට දිය ඇදීම; බැළයට වතුර ගෙන ඒම.
2. නා.ප්‍ර. දිය ඇදීමෙන් ලැබෙන කුලිය.

දියබුං

නා.ප්‍ර. දිය අභ්‍යන්තරයට දෑතින් පහර දෙමින් ඈතට ඇසෙන හඩක් නංවන ජල ක්‍රීඩාව.

දියබෙත්ම

1. නා. ගංඟාවකට වර්ෂා ජලය සපයන භූමි ප්‍රදේශය; ගංගාධාරය.
2. (කථා.) නා. ගඟකට ඇළ, දොළ ආදි දියපාරක් සම්බන්ධ වන ස්ථානය; ඇළ; මෝදර.
3. (පාරිභා.) නා. වෙනත් ගංගාවලට හෝ ගංගාධාරවලට ජලය වෙන් කර යවන කඳු සීමාව; එක ගංගාවක් තවත් ගංගාවකින් වෙන් කරන උස්බිම (=watershed).

දියමංකඩ

1. (කථා.) නා.ප්‍ර. වන සතුන් වතුර බීමට එන ස්ථානය.
2. නා.ප්‍ර. මහා මාර්ගයන්හි උඩින් එන වතුර බැස යන ස්ථානය.

දියමදු

නා.ප්‍ර. අනංගයා.

දියමන්ති

නා.ප්‍ර. වජ්‍ර මාණික්‍යය; විදුරුමිණ.

දියමල

1. නා. සිහින් ජලධාරා විහිදුවන ජලනලය; වතුර මල.
2. නා. මූත්‍ර මාර්ගය; මූත්‍ර සිදුර.

දියමලන් කනවා

1. ක්‍රි. වැසි ජලය නිසා ගොයම් පැළෑටි කෙට්ටු වෙනවා.
2. ක්‍රි. දිය සෙවෙල් අල්ලනවා.

දියමස්

නා.ප්‍ර. ජලයෙහි වසන මසුන්ගේ මාංස.

දියමාන

1. (කථා.) නා.ප්‍ර. අවශ්‍ය ප්‍රමාණයට කුඹුරුවලට ජලය ගෙන යන කුඩා ඇළ; කුඹුරු මැදින් වතුර ගැනීමට කපන කුඩා ඇළ.
2. නා.ප්‍ර. දිය ගමන් කරවිය හැකි සමභූමි ප්‍රමාණය.

දියමාරුව

1. (කථා.) නා. කුඹුරුවලට තනි වක්කඩෙන් දිය බස්සවන ඉස්මත්තේ ලියද්ද.
2. නා. ඉස්මත්තේ ලියද්දේ සිට කුඹුරුවලට දිය ගෙන යන කුඩා ඇළ.
3. නා. කුඹුරක දිය බැස යෑම.

දියමිටියන් කෑම

නා. මිනිසුන්ගේ පාදයන්හි තිබෙන සියුම් කූපවලින් හෝ පාදයන් සිදුරු කරමින් හෝ කොකුපණුවන් ශරීරය ඇතුළට වැදීමෙන් ඇතිවන ක්ෂුද්‍ර ව්‍යාධි විශේෂයක්.

දියමුනුමඟ

නා.ප්‍ර. යෝනිය.

දියඹ

නා.ප්‍ර. ගංඟා මුහුදු ආදියෙහි ගැඹුරු පෙදෙස; හොකරය.

දියඹනැම්ම

(කථා.) නා. ඈත මුහුද දෙසට ඇදෙන බාදිය කඳ; ගැඹුරු මුහුද පැත්තට ගලන ජලප්‍රවාහය.

දියඹහන

(කථා.) නා. ඈත ගැඹුරු මුහුදේදී ගොඩ සනිටුහන් කර ගැනීමට ධීවරයින් තබන සලකුණ.

දියර

නා.ප්‍ර. ගලා යා හැකි දෑ; ද්‍රවය; ජලය.

දියරන්

නා.ප්‍ර. ගංඟා පතුලෙහි වැලි හා මිශ්‍ර ව පවත්නා රත්රන්.