සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 861

දූර

වි. දුරින් පිහිටි; ඈත් වූ; ළං නොවූ.

දූර දර්ශකය

(පාරිභා.) නා. දුර දක්නය; දුරේක්ෂය; දූර දර්ශක කන්නාඩිය.

දූර දෘෂ්ටිකත්වය

(පාරිභා.) නා. ළඟ පිහිටි වස්තු පැහැදිලි ව නොපෙනීමෙන් හට ගන්නා දෘෂ්ටි දෝෂය; ළඟ නොපෙනෙන දුර පමණක් පෙනෙන රෝගය (=hypermetropia).

දූර ප්‍රකාශ කාචය

(පාරිභා.) නා. ඉතා ඈත තිබෙන වස්තුවල පිළිබිඹු ලබාගන්නා කාචය. (=telephoto lens).

දූර භණන සම්ප්‍රේෂකය

(පාරිභා.) නා. දුරකථන පණිවිඩ යැවීමේ දී කථා කරන ශබ්ද විදුලි සංඥා බවට හරවා යවන උපකරණය (=telephone transmitter).

දූර භණනය

(පාරිභා.) නා. දූරකථනය; ටෙලිෆෝනය.

දූර මානය

(පාරිභා.) නා. (වොල්ටීයතාව, බලය) ආදි විද්‍යුත් ප්‍රමාණ දුර සිට මැනීමට භාවිත කරන උපකරණය.

දූර මුද්‍රකය

(පාරිභා.) නා. විදුලි යතුරු ලේඛන විශේෂයක්; දුරලේඛ උකහා ගන්නා යන්ත්‍රයකින් සමන්විත මෙම යන්ත්‍රයෙන් ලබන පණිවුඩ යතුරුලේඛන යන්ත්‍රයකින් මෙන් දිග කඩදාසියක සටහන් කෙරේ; ටෙලිප්‍රින්ටරය.

දූර ලක්ෂ්‍යය

(පාරිභා.) නා. ඈතින් වූ තිත; දුරින් පිහිටි තිත (=distant point).

දූර ලේඛය

(පාරිභා.) නා. විදුලි සංකේත බවට හැර වූ පණිවුඩ ක මගින් ඈත තැනකට යැවීමේ විදුලි පණිවුඩ හුවමාරු ක්‍රමය හෝ එම උපකරණ කට්ටලය.

දූර විදමන

නා. ධනු ශිල්පයේ දහඅට වැදෑරුම් විදීමේ ක්‍රමවලින් එකක් වශයෙන් බොහෝ දුර සිට දුන්නෙන් විදීම.

දූරදර්ශි

වි. ඉදිරිය බලා ක්‍රියා කරන; මතු කාලය ගැන සිතා ක්‍රියාකරන.

දූරප්‍රතිග්‍රාහක

(පාරිභා.) නා.ප්‍ර. දුර ඇති දේ දැනගැනීමට උපකාර වන (සමහර සතුන්ගේ) සංවේදනීය ස්නායු තුඩු.

දූරස්ථ

වි. දුරින් පිහිටි; ඈතින් පිහිටි.

දූරස්ථ පාර්ශ්වය

(පාරිභා.) නා. (නීති.) ඍජු සම්බන්ධයක් නැති පක්ෂය (=remote party).

දූරාතීතය

[දූර + අතීතය]
නා. ඈත අතීතය; ඉතා පැරණි කාලය.

දූරාන්තිකය

1. නා. විහාර, ආරාම, දේවස්ථාන ආදි සුවිශේෂ ගොඩනැගිලිවල කෙළවර පිහිටි අර්ධ ගෝලාකාර හෝ පට්ටම් බහුල ගෘහ අංගය.
2. නා. ග්‍රහ වස්තුවක ආකර්ෂණ කේන්ද්‍රයේ සිට කක්ෂයේ ඉතා ම ළඟින් පිහිටි හෝ ඉතා ම දුරින් පිහිටි ලක්ෂ්‍යය (=apse).

දූරැස

නා.ප්‍ර. දූත සමූහයා.

දූරිභූත

වි. දුරු කළ ; දුරු කරන ලද; පහ වූ; ඉවත් වූ.

දූරීකරණය

නා. දුරු කිරීම; ඉවත් කිරීම; පහ කිරීම.

දූරීභූත වෙනවා

ක්‍රි. දුරු වෙනවා; පහ වෙනවා; ඉවත් වෙනවා.

දූරේක්ෂය

[දූර + ඊක්ෂය]
(පාරිභා.) නා. දුර බලන උපකරණය; දූරදර්ශකය; දුරදක්නය (=telescope).

දූල

නා. සියුම් වස්ත්‍රය; දුහුල් ඇඳුම.

දූලඳ

නා.ප්‍ර. දුවක වන තරුණ කාන්තාව.

දූලි

නා.ප්‍ර. ඉතා ම සියුම් පස් අංශු; රජස්.