සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 860

දුහුන්

නා.ප්‍ර. (සූපව්‍යංජන ආදිය) තෙම්පරාදු කිරිම; දුම් කැවීම; ධූපනය.

දුහුනා

නා. (විද්‍යා ශාස්ත්‍ර ආදිය) ඉගෙනීම අලුතින් ආරම්භ කරන්නා; ආධුනිකයා; නවකයා.

දුහුල

1. නා. සිහින් නූලෙන් වියන ලද තුනී වස්ත්‍රය; දූල; සිනිඳු වස්ත්‍රය.
2. නා. කොටු වැහැරියෙන් වියන ලද රෙද්ද; කොටු පිළිය.

දුහුල්

වි. තුනී; සිනිඳු; මෘදු; සියුම්.

දුහුල්කඩ

නා.ප්‍ර. දුහුල් වූ වස්ත්‍රය; ඉතා සිනිඳු වූ වස්ත්‍රය; දූල.

දුහුලි

නා.ප්‍ර. දූලි; දූවිලි; ධූලි.

දුහුවිල්ල

1. නා. සුළගේ පාවෙන තරමට සියුම් කැබලිවලට කැඩුණු පස් සහ වෙනත් ද්‍රව්‍ය අංශු; දූවිල්ල; රජස්.
2. නා. නැත්තටම නැති වී යන්නා වූ දෙය; නිෂ්ප්‍රයෝජන වන්නා වූ දෙය.

දුහෘද්‍යයා

නා. පසමිතුරා; සතුරා.

දුළු

නා.ප්‍ර. ගෙතුණු ඉසකේ; හැඩපලු ගැසුණු ඉසකේ.

දුළුල්

වි. නොමනා; නොසරුප්; අසභ්‍ය; අශ්ලීල.
නා.ප්‍ර. ජටාව.

දුළුල්ලා

1. නා. ගෙතුණු හිසකේ ජටාවක් මෙන් හිස දරන තාපසයා; ජටිලයා.
2. නා. ඊශ්වර; මහදෙවි.

දූ

1. නා.ප්‍ර. දුවණිය; දුහිතෘව.
2. නා.ප්‍ර. දූතයා.
3. නා.ප්‍ර. දාදු කැටය; පස ඇටය; අක්ෂය.
4. නා.ප්‍ර. දාදු කැටය උපයෝගීකරගෙන කරන ක්‍රීඩා විශේෂය; දූකෙළිය; සූදුව.
5. නා.ප්‍ර. කුඩා දූපත.

දූ කෙළිය

නා. දාදු කැට ගෙන තරගයට කෙරෙන සූදුව; ද්‍යුත ක්‍රීඩාව.

දූත

1. වි. පණිවිඩ රැගෙන යන; පණිවිඩකාර.
2. වි. දුසිරිත්හි නිරත; අනාචාරයෙහි යෙදුණ.

දූත කර්මය

1. නා. පණිවුඩ ගෙනයාමේ සහ ගෙනඒමේ කාර්යය; දූත කාර්යය; පණිවුඩ මෙහෙය.
2. (විනය.) නා. අයුතු ලෙස සිව්පසය සෙවීමේ ක්‍රමයන්ගෙන් එකක්; ගිහියන්ට පණිවුඩ ගෙනයාම් ආදියෙන් සිව්පසය සෙවීම.

දූත කාව්‍යය

නා. දූතයකු අත යවන සන්දේශයක ස්වරූපයෙන් ලියවුණු කාව්‍ය ග්‍රන්ථය; සන්දේශ කාව්‍යය.

දූතයා

1. නා. පණිවුඩකරුවා.
2. නා. චර පුරුෂයා; ඔත්තු සපයන්නා.
3. (දූත කාව්‍යයක) නා. සන්දේශය රැගෙන යන්නා; සන්දේශ භාරකයා.

දූතිකාව

1. නා. තොරතුරු ගෙන යන තැනැත්තිය; පණිවුඩකාරිය.
2. නා. බිරිඳ; භාර්යාව.

දූදරු

නා.ප්‍ර. දූවරු සහ පුත්තු; දරුමල්ලෝ.

දූපත

නා. හාත්පසින් ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින; ද්වීපය.

දූපනය

නා. දුම්දීම; ධූපනය; දුම.

දූපය

නා. පූජා වශයෙන් අල්ලන සුවඳ දුම; ධූපය.

දූපෝරුව

නා. දූ කෙළියෙහි දී උපයෝගී කරගන්නා ලෑල්ල; පසැට කෙළිය සඳහා ගන්නා පුවරුව.

දූමකේතුව

නා. වල්ගා තරුව; දුම් කෙහෙලිය; ධූමකේතුව.